හිටපු ජනාධිපතිනියට එරෙහිව විරෝධයක්

  👤  354 readers have read this article !
By mawbima 2018-08-15

හික්කඩුව - සංජීව මණික්කුවාවඩු

අත්තනගල්ල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මාධ්‍යවේදීන් එම රැස්වීමෙන් ඉවත් කිරීමට ගත් බොළඳ උත්සාහය පිළිකුලෙන් යුතුව හෙළා දකින බව දකුණු පළාත් ස්වාධීන ජනමාධ්‍ය සංගමය ඊයේ (14දා) පස්වරුවේ අම්බලන්ගොඩ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී දැඩි ලෙස හෙළා දැක්කේය.

එම සංවිධානයේ සභාපති මාධ්‍යවේදී හේමන්ත ද සිල්වා මහතා අදහස් දක්වමින් මෙසේ පැවැසීය.

අත්තනගල්ල ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීමට මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීන් යන්නේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිල ලිඛිත ආරාධනාවකටයි.

මෙම රැස්වීමේදී ප්‍රාදේශීය දේශපාලන නායකත්වය හා රාජ්‍ය නිලධාරීන් එකම තැනකට රැස්වී ප්‍රදේශයේ සංවර්ධන කටයුතුවල ප්‍රගතිය හා අඩුපාඩු ගැන කතා කරලා තීන්දු තීරණ ගන්නවා.

ජනතාවගේ ප්‍රශ්න ගැන කරන කතා ජනතාවට දැනගන්න අයිතියක් තියෙනවා.
මේ තොරතුරු ජනතාවට ගෙන යන්නේ මාධ්‍යවේදීන්. හිටපු ජනාධිපතිතුමිය කළේ ජනතාවට තොරතුරු දැන ගැනීමට තිබූ අයිතිය නැති කිරීමයි.

මාධ්‍ය ගැන හොඳින් දන්නා මාධ්‍යවේදීන් සමඟ සමීප හිටපු ජනාධිපතිතුමිය මෙසේ වගකීම් විරහිතව කටයුතු කිරීම අපි දකුණේ මාධ්‍යවේදීන් ලෙස හෙළා දකිනවා.

අද මේ රටේ ජනාධිපති, අගමැති, ආණ්ඩුව විවේචනය කරන්න මාධ්‍යට අයිතිය තියෙනවා. යහපාලන ආණ්ඩුව මේ රටේ වෙනත් ආණ්ඩුවලට වඩා මාධ්‍ය නිදහසක් දීලා තියෙනවා.

ඒක නැහැ කියන්න කාටවත් බැහැ. යහපාලන ආණ්ඩුව ගොඩනඟන්න මුල් වූ එතුමියගේ මේ හැසිරීම විහිළුවක්.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon