මිනුවන්ගොඩ ව්‍යාපාරිකයකු බෙල්ල කපා මරා දමලා

  👤  413 readers have read this article !
By mawbima 2018-08-15

මිනුවන්ගොඩ - ටෝනි කේ. අතුකෝරල

මිනුවන්ගොඩ, යාගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි ව්‍යාපාරිකයකුගේ ගෙල කපා පදිංචි නිවෙස පිටුපස ඊයේ (14දා) උදේ ඝාතනය කර ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

දිනයාදුර නාලක සම්පත් සිල්වා නමැති තිදරු පියකු වූ ව්‍යාපාරිකයා මෙසේ ඝාතනය කර තිබේ.

මියගිය අය පෙරේදා (13දා) රාත්‍රි බිරිය සමඟ ආරවුලක් ඇතිකරගෙන ඇති බවත් ඊයේ (14දා) උදේ බිරිය සහ දරු තිදෙනා මියගිය අයගේ බිරියගේ පියා සමඟ බිරියගේ මහ ගෙදරට ගොස් ඇති බවත් පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

ඉන් අනතුරුව බිරියගේ පියා මියගිය අයගේ නිවෙසට ඊයේ (14දා) උදේ නැවත වරක් ගොස් ඇති බවත් පවසන පොලිසිය මාමණ්ඩිය විසින් එම ඝාතනය සිදුකරන්නට ඇති බවට සැක පහළ කරයි.

හෙරොයින් පානයට තදින්ම ඇබ්බැහිවී සිටින මියගිය අය දිනකට 7000ක පමණ හෙරොයින් පානය කරන බව පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ. ඔහු නිවාස, කඩකාමර සහ බෝඩින් කාමර කුලියට දීමේ ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කරන අයකු බව පොලිසිය කියයි.

මේ මරණය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය මිනුවන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් සිසිර විජේසූරිය මහතා විසින් ඊයේ (14දා) දහවල් සිදු කරනු ලැබීය.

මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වන ලෙසට මීගමුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියම කළ වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වා මරණයට හේතුව ලබන 29 වැනිදාට මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට දන්වන ලෙසට අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට වැඩිදුරත් නියම කළේය.

මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍ර,පො.ප. ජීවක රාජපක්‍ෂ මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon