ශ්‍රී ලංකා කතෝලික රදගුරු සංසදය මරණ දඬුවමට එරෙහි වෙයි

  👤  415 readers have read this article !
By mawbima 2018-08-15

උදයන්ති මුණසිංහ

මරණ දඬුවම නියමව සිරගත වූ සමහර සිරකරුවන් හරහා අඛණ්ඩව, බන්ධනාගාරයේ සිටම පවත්වාගෙන යන මත්ද්‍රව්‍ය ජාවාරම වළක්වාලමින් එම නිහීන ක්‍රියාදාමයන් මුලිනුපුටා දැමීමට උපරිමය කළ යුතු බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සංසදය අවධාරණය කරයි.

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති බදුල්ල රදගුරු අති උතුම් ජේ. වින්ස්ටන් එස්. ප්‍රනාන්දු, එහි උප සභාපති මඩකළපුව රදගුරු අති උතුම් ජෝශප් පොන්නයියා, එහි මහ ලේකම් හලාවත රදගුරු අති උතුම් දෙව්ශි්‍රත වැලන්ස් මෙන්ඩිස් යන අයගේ අස්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව අවධාරණය කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා කතෝලික රදගුරු සංසදය මරණීය දණ්ඩනය අනුමත නොකරන බවත්, සංඝ සභාවේ වර්තමාන ස්ථාවරය සහ ඉගැන්වීම වන්නේ සුබාරංචිය මත පිහිටා සිටිමින්, මරණීය දණ්ඩනය කිසිදු කරුණක් නිසා හෝ පිළිගත නොහැකි බවත් යන්න ඔවුහු අවධාරණය කරති.

එමෙන්ම එය මානව ගරුත්වයට සහ අභිමානයට මරු පහරක් වන අතර, සභා මාතාව එය ලොව පුරා අහෝසි කිරීමට අවධාරණයෙන් කටයුතු කරන බවද සඳහන් කරයි.

අති උතුම් ෆ්‍රැන්සිස් සුදුතුම් පියතුමා මත් උවදුර හඳුන්වන්නේ "මිනිස් වහල් භාවයේ නූතන ගති ලක්ෂණයක්, නව තුවාලයක් සහ සමාජය දූෂණය කර වනසාලන වස විසක්" ලෙස බවත්, ඒ නිසා මේ උවදුර මුල් කරගෙන, එහි ගොදුර බවට පත් වූවන් නැවත මුදා ගන්නා ක්‍රියාදාමයකට යොමු විය යුතු බවත් ඔවුහු පෙන්වා දෙති.

ඒ අනුව අධ්‍යාපන පද්ධතිය, ආගමික නායකයන්, දේශපාලනඥයන්, සිවිල් සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, මෙන්ම ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ ආයතන මේ ක්‍රියාදාමයට මැදිහත් වන ලෙසද ඔවුහු ඉල්ලා සිටිති.

මහනුවර රදගුරු අති උතුම් ජේ. වියානි ප්‍රනාන්දු, කුරුණෑගල රදගුරු අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා, අනුරාධපුර රදගුරු අති උතුම් නෝබට් එම්. අන්ද්‍රාදි, රත්නපුර රදගුරු අති උතුම් ක්ලීටස් සී. පෙරේරා, ගාල්ල රදගුරු අති උතුම් රේමන්ඩ් කේ. වික්‍රමසිංහ, ත්‍රිකුණාමලය රදගුරු අති උතුම් නොයෙල් සී. එම්මානුවෙල්, යාපනය රදගුරු අති උතුම් ජස්ටින් බී. ඥානප්‍රගාසම්, මන්නාරම රදගුරු අති උතුම් එෆ්.එල්. එම්මානුවෙල් ප්‍රනාන්දු, කොළඹ සහායක රදගුරු හිමිවරුන් වන අති උතුම් මැක්ස්වල් ජී. සිල්වා සහ අති උතුම් ජේ. ඩී. ඇන්තනී යන හිමිවරුන්ද මේ නිවේදනය සඳහා අස්සන් කොට තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon