පිහිනුම් තරගයට පිටරට ගිය සිසුවාට එහෙ සිටම උ/පෙළ ලියන්න අවසර

  👤  478 readers have read this article !
By mawbima 2018-08-15

දයා පෙරේරා

බම්බලපිටියේ ශාන්ත පීතර විදුහලේ ජාතික පිහිනුම් ශූරයකු වන අකලංක පීරිස් සිසුවාට ජාත්‍යන්තර කනිෂ්ඨ ඔලිම්පික් තරගාවලිය පැවැත්වෙන ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සිට අධ්‍යායන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ විෂයයන් තුනකට පෙනී සිටීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ හා විභාග දෙපාර්තමේන්තුව එක්ව අවස්ථාව සලසා දෙයි.

මෙරට ක්‍රීඩකයකුට විදේශයකදී ශ්‍රී ලංකාවේ ජාතික විභාගයකට පෙනී සිටීමට මේ ඓතිහාසික අවස්ථාව සලසා දුන්නේ අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙසිනි.

මේ මස 18 වැනිදා සිට 23 වැනිදා දක්වා ජකාර්තා නුවර පැවැත්වෙන මෙම පිහිනුම් තරගාවලියේ තරග වැදීම පිණිස අකලංක පීරිස් සිසුවා අද (15දා) පිටත්ව යයි.

ජාතික ඔලිම්පික් කමිටුවේ ඉල්ලීමකට අනුව ඇමැතිවරයා මේ අවස්ථාව උදාකර දුන්නේය.

විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා ඒ සඳහා විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනකු එහි යැවීමට පියවර ගෙන ඇත. ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මේ සඳහා සහාය දී තිබේ.

විභාගයේ රහස්‍යභාවය හා විනිවිදභාවය ආරක්ෂා වන පරිදි ශ්‍රී ලංකාවේදී විභාගය ආරම්භ වන වේලාවටම ජකාර්තා නුවරදී මේ සිසුවාට විභාගයට පෙනී සිටීමට අවස්ථාව සලසා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.

දක්ෂ ක්‍රීඩකයන් මෙන්ම අධ්‍යාපනයේ දක්ෂයන් ද ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මේ තීරණය ගත් බව අධ්‍යාපන ඇමැතිවරයා 'මව්බිම'ට පැවැසීය.

සාමාන්‍ය ඉංග්‍රීසි, සාමාන්‍ය පොදු පරීක්ෂණය හා ගිණුම්කරණය පළමු ප්‍රශ්න පත්‍රයටද අකලංක පීරිස් පිළිතුරු සපයන්නේ ජකාර්තා නුවරදීය.

අධ්‍යාපන ඇමැතිවරයා හමුවූ අකලංක පීරිස් සිසුවා තමාට මේ අවස්ථාව ලබාදීම ගැන කෘතවේදීත්වය පළ කෙළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon