කඳුකරයට මහ වැසි ජලාශවල ජල මට්ටම ඉහළට නුවරඑළිය දිසාවේ 167 දෙනකු ආරක්ෂිත ස්ථානවලට

  👤  375 readers have read this article !
By mawbima 2018-08-15

ඉෂාරා සිල්වා

මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ විමලසුරේන්ද්‍ර ජලාශයේ සහ ලක්ෂපාන ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම තරමක් දුරට ඉහළ ගොස් ඇති බව
කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ නාය යෑමේ අවදානම හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් 46කට අයත් පුද්ගලයන් 167 දෙනකු ආරක්ෂිත ස්ථානවලට යොමුකළ බවද එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

ඔවුන් අඹගමුව, කිරිමැටිය, දික්ඔය ග්‍රාම නිලධාරි කොට්ඨාසවලට අයත් පුද්ගලයන් වන අතර ඔවුන් එම ප්‍රදේශයේම කඳවුරුවල රඳවා ඇත.

මේ අතර කුරුණෑගල _ අලව්ව ප්‍රදේශය හරහා ඊයේ (14දා) උදෑසන හමාගිය තද සුළං තත්ත්වය හේතුවෙන් නිවාස කිහිපයකට සහ තවත් ගොඩනැඟිලි කිහිපයකට හානි සිදු වී තිබේ.

අෑගල්ල, වදාව, කැබිලිත්තාවල, ඉඹුල්ගොඩ සහ රත්මල්ගොඩ යන ප්‍රදේශවලට මෙම සුළඟින් බලපෑම් එල්ල වී තිබෙන අතර නිවාස 15කට පමණ අර්ධ හානි සිදුව තිබේ.

මේ අතර වවුනියාව ඇතුළු උතුරු පළාතට බලපා ඇති දැඩි වියළි කාලගුණය හේතුවෙන් පවුල් 1974කට අයත් පුද්ගලයන් 7276ක් පීඩාවට පත්ව ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

බවුසර් යොදාගනිමින් එම ප්‍රදේශවල ජනතාවට ජලය සැපයීමට කටයුතු යොදා ඇති බවද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon