ඒකාබද්ධයේ මන්ත්‍රිවරුන් 69 දෙනා ස්වාධීන වීම සම්බන්ධව තීරණයක් ගැනීමට ජී.එල්.ගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක්

  👤  378 readers have read this article !
By mawbima 2018-08-15

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 69 දෙනා ස්වාධීන වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත්කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී ඊයේ (14දා) තීරණය කළ බව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා 'මව්බිම'ට ප්‍රකාශ කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් ඇතුළු නීති විශාරදයන් හා විශේෂඥයන් කිහිපදෙනෙකුම මෙම විශේෂ කමිටුවට අයත් බවත් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ලබන සතිය වන විට මෙම වාර්තාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද ඒ මහතා සඳහන් කළේය.

එම වාර්තාව සැලකිල්ලට ගෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ ගැන සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 69 දෙනාගේ විශේෂ රැස්වීමක් ලබන පාර්ලිමේන්තු සතියේදී පැවැත්වීමට නියමිත බවත් පාර්ලිමේන්තුවේ ස්වාධීන වීම සම්බන්ධයෙන් අවසන් තීරණය එම විශේෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී ගැනීමට නියමිත බවත් රංජිත් ද සොයිසා මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

පළාත් සභා මැතිවරණය කල් දැමීමට එරෙහිව අවශ්‍ය අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සහ පළාත් සභා මැතිවරණය කඩිනමින් ලබාගැනීම සඳහා අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමටද මෙහිදී තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.

සැප්තැම්බර් 05 වැනිදා ආණ්ඩුව පලවා හැරීම ආරම්භ කරන විරෝධතා ව්‍යාපාරයේ සංවිධාන කටයුතුවල ප්‍රගතිය හා ඊට එක්වන සියලු බලවේග එක්කර ගැනීම, රාජ්‍ය දේපළ පෞද්ගලීකරණය කිරීම වැළැක්වීම, දේශපාලන මර්දනයට එරෙහි වීම ඇතුළු කරුණු රැසක් ගැන මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බවද පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා වැඩිදුටත් ප්‍රකාශ කළේය.

කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී ඊයේ (14දා) සවස 5.45 සිට රාත්‍රි 8.00 දක්වා පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මෙම පක්ෂ නායක හමුවට එස්.බී. දිසානායක, ජෝන් සෙනෙවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත හිටපු අමාත්‍යවරුද සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon