අත මාරුවට දුන් ලක්ෂ 20 ගන්න හූනියමක් කළැයි 2ක් අත්අඩංගුවට

  👤  404 readers have read this article !
By mawbima 2018-08-15

අනුරාධපුර _ මහේෂ් විජේසූරිය

හිතවතකුට ලබාදුන් රුපියල් විසි ලක්ෂයක මුදල නැවත ලබා ගැනීම සඳහා කට්ට¾ඩියකු ලබාදුන් උපදෙස්වලට අනුව හූනියමක් සිදුකිරීම පිණිස මීට දින කිහිපයකට ඉහතදී මියගිය කුඩා දරුවකුගේ සිරුරක් භූමිදානය කළ මිනී වළක් හාරා පොල් ගෙඩියක් වැළලූ කාන්තාවක් හා ඊට අනුබල දුන් ඇගේ බෑනා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ මෙහෙයුම් අංශයේ නිලධාරීන් විසින් ඊයේ (14දා) අලුයම සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

පිළිකාවක් හේතුවෙන් මිය ගිය වයස අවුරුදු 4 1/2ක දරුවකුගේ දේහය අනුරාධපුර පොලිස් වසමේ කටුකැලියාව, ගල්පොත්තේගම, දීප්තිගම ප්‍රදේශයේ පිහිටි පොදු සුසාන භූමියක භූමිදාන කර තිබූ මිනී වළ හාරා හූනියම සඳහා පොල් ගෙඩිය වළලා තිබූ බවත් මියගිය දරුවාගේ ඥාතියකු වන සිවිල් ආරක්ෂක බළකා සෙබළකු එම සිද්ධිය ඥාතීන්ට දැනුම් දීමෙන් පසුව ලැබුණු පැමිණිලි මත සැකකරුවන් අත්අඩංගුවට ගත් බව විවිධ පැමිණිලි අංශය පැවැසුවේය.

අත්අඩංගුවට ගත් 51 හැවිරිදි දෙදරු මවක වන සැකකාර කාන්තාව මාස කිහිපයකට පමණ ඉහතදී හිතවතකුට පොලී පදනමට රුපියල් ලක්ෂ විස්සක් ලබාදී තිබෙන අතර එම මුදල් නැවත ඉල්ලූ අවස්ථාවේ යළි ලබාදී නැති බව පොලිසිය අනාවරණය කරගෙන තිබිණි.
පොලිසියට ගොස් පැමිණිලි කිරීමට ලිඛිත සාක්ෂියක් නොමැති වූ නිසා සැකකාරිය තලාව නගර ආසන්නයේ පිහිටි බලගතු දේවාලයක් යැයි කියන ස්ථානයකට ගොස් ගැටලුව පවසා තිබෙන අතර එම ගැටලුව හූනියමකින් විසඳිය හැකි බව කට්ට¾ඩියා ඇයට පවසා තිබේ.

ඒ අනුව මෑතදී මියගිය අයකුගේ මිනී වළෙහි දින 21ක් පොල් ගෙඩියක් තැම්පත් කර තැබිය යුතු බව පවසා තිබෙන අතර පසුගියදා (06දා) දීප්තිගම පදිංචි ආබාධිත යුවළකගේ දරුවා පිළිකාවකින් මියගිය පසුව ඇය පොල් ගෙඩිය රැගෙන තලාව දේවාලයට ගොස් තිබේ.

කපුවා පොල් ගෙඩිය දින කිහිපයක් තිස්සේ මතුරා සිරුර මිහිදන් කළ පසුව කාන්තාව අතට පත්කර තිබේ. මියගිය දරුවාගේ දේහය පසුගිය 09 වැනිදා සවස සුසාන භූමියේ මිහිදන් කළ පසුව ඇය දේවාලයට ගොස් හූනියම සඳහා පොල් ගෙඩිය වැළලීමට ඉල්ලාගෙන තිබේ.

පොල් ගෙඩිය මධ්‍යම රාත්‍රි 12.45ට සොහොනේ තැම්පත් කරන ලෙසත් නැවත දින 21කින් එය ගොඩ ගෙන දේවාලයට රැගෙන එන ලෙසත් කට්ට¾ඩියා කාන්තාවට උපදෙස් දී තිබේ.
ඇය මව සමඟ පසුගිය 12 වැනිදා මධ්‍යම රාත්‍රියේ සොහොනට ගොස් පොල් ගෙඩිය වළ දමා පිටතට පැමිණෙද්දී දරුවාගේ ඥාතියකු වන සිවිල්
ආරක්ෂක සෙබළකු සුසාන භූමිය අසලින් යද්දී කාන්තාව දැක මධ්‍යම රාත්‍රියේ සොහොනේ කුමක් කරන්නේද යන්න විමසා තිබේ.

නිරුත්තර වූ ඇය සිවිල් ආරක්ෂක සෙබළාට හූනියම පිළිබඳව පවසා ඇති අතර ඔහු දරුවාගේ ඥාතීන්ට ඒ පිළිබඳව පැවැසීමත් සමඟ දෙපාර්ශ්වය අතර ගැටුමක් ඇති වී තිබේ.

සැකකාර කාන්තාව පැමිණිලිකරුවන්ගෙන් සමාව ඉල්ලා සිය බෑනකු සමඟ එක් වී නැවතත් හූනියම සඳහා වළ දැමූ පොල් ගෙඩිය ගොඩ ගැනීමට ඊයේ (14දා) අලුයම සොහොනට ගිය අවස්ථාවේ දරුවාගේ ඥාතීන් ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබෙන අතර අනුරාධපුර මූලස්ථාන පොලිසියේ මෙහෙයුම් අංශයේ නිලධාරීන් එහි ගොස් සැකකරුවන් දෙදෙනා සමඟ හූනියමට යොදාගත් පොල් ගෙඩිය අත්අඩංගුවට ගෙන තිබිණි.

මියගිය අයකුගේ සොහොනක් හාරා අවමන් කිරීමේ චෝදනාවට සැකකරුවන් දෙදෙනා ඊයේ (14දා) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
පොලිස් මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කේ. උදයකුමාර මහතා ඇතුළු පිරිසක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයට භාරදී තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon