ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා විස්සයි-20 ක්‍රිකට් තරගය චන්දිමාල්ගෙන් චණ්ඩි ඉනිමක් අකිල, ධනංජය හා සඳකැන් අප්‍රිකාවට තරු පෙන්වයි

  👤  387 readers have read this article !
By mawbima 2018-08-15

සිරිනාම රාජපක්‍ෂ, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සිට..

දකුණු අප්‍රිකානුවන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ අවසන් ඉසව්ව ලෙස ඊයේ (14දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 3ක ජයග්‍රහණයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර සඳකැන් , අකිල හා ධනංජය යන තිදෙනාගේ දක්‍ෂ දඟ පන්දු යැවීම් හමුවේ ඔවුන්ගේ ඉනිම පන්දුවාර 17කටත් අඩුවෙන් ලකුණු 98 කට සීමා කිරීමටද සමත් වූයේ ප්‍රේමදාස පිටියට පැමිණි තිස්පන් දහසක පමණ ප්‍රේක්‍ෂකයන්ගේ ඔල්වරසන් මැද්දේය.

ඒ අනුව දෙරට අතර පැවැති 10 වැනි විස්සයි-20 තරගය ජය ගත් ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට එරෙහිව 5 වැනි ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වූ අතර ධනංජය ද සිල්වා සහ දිනේෂ් චන්දිමාල් අතර 3 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 38 කදී තැබූ ලකුණු 50ක සබඳතාවද ජයග්‍රහණයට පාදක විය. කෙසේ වෙතත් පිළිතුරු දෙන්නට පැමිණි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වූ කුසල්ලා දෙදෙනාම පළමු පන්දුවාරයෙදීම නැවත හරවා යවන්නට කැගිසෝ රබාඩාගේ වේග පන්දු සමත් වූ අතර පන්දු 26කදී ලකුණු 31ක් ලබා සිටි ධනංජය 3 වැනි කඩුල්ල ලෙස ඩලාගේ පන්දුවක් හමුවේ දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 59ක් විය. ඊට තවත් ලකුණු 4ක් එක්වෙද්දී නායක මැතිව්ස් ෂෝට් ලෙග්හි සිටි ක්ලාසන්ට උඩ පන්දුවක් දී දැවීයෑමෙන් පසුව චන්දිමාල්ට එක්වූ දසුන් ශානක පන්දු 16කින් ලකුණු 16ක් ගෙන ඩලා ඉදිරියේ දැවී ගිය අතර මැතිව්ස් බිංදුවකට දවා ගත් ෂම්සි විසින්ම තිසරද ලකුණු බිංදුවකට දවා ගත්තේ 13 වැනි පන්දුවරයේ 2 වැනි පන්දුවේදීය.

නමුත් එවන් අසීරු තත්ත්වයකට පත්ව සිටි ශ්‍රී ලංකාව ජයග්‍රහණයක් කරා මෙහෙයවන්නට තරග තහනමකට ලක්ව සිට මෙවර තරගාවලියේදී පළමු වරට පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල් සමත් වූ අතර අංක-3 පිතිකරුවා ලෙස පැමිණ මිනිත්තු 78ක් කඩුල්ලේ රැඳී සිට පන්දු 33කින් ඔහු ලබා ගත් ලකුණු 36ට හතරේ පහර 3ක් සහ හයේ පහරක් ඇතුළත් විය.

දකුණු අප්‍රිකානු විස්සයි-20 නායක ජේ.පී. ඩුමිනි කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට තීරණය කිරීමෙන් පසුව කසුන් රාජිත යැවූ පළමු පන්දුවාරයේදී ඩි කොක් ලකුණු 14ක්ම ලබා ගත්තද දෙවැනි පන්දුවාරය යැවූ ධනංජය ද සිල්වාගේ 5 වැනි පන්දුවට එක්ස්ට්‍රා කවර්හි සිටි දසුන් ශානකට උඩපන්දුවක් දීමෙන් අනෙක් ආරම්භක පිතකරු හෂීම් අම්ලා ලකණු නොලබාම දැවී යන විට මුළු ලකුණු 14ක් සේ සටහන් විය. ඉන් පසුව ඩි කොක්ට එක්වූ ඊයේ තම 29 වැනි උපන් දිනයද යෙදී තිබූ රීසා හෙන්රිකස් සමග තවත් ලකුණු 16ක් අප්‍රිකානු ඉනිමට එකතු කර සිටියදී පන්දු 11කින් ලකුණු 20ක් ලැබූ ඩි කොක් දුවද්දී දවා ගැනීමකට හසුකර ගත් අතර මුළු ලකුණු සංඛ්‍යාව 42ක් වෙද්දී හෙන්රිකස් ලකුණු 19කට දවා ගැනීමට අකිල ධනංජය සමත් විය.

කෙසේ හෝ දකුණු අප්‍රිකානුවෝ පන්දුවාර 6යි පන්දු 4කදී ලකුණු 50 වාර්තා කළද ඊට තවත් ලකුණු 7ක් එකතු වූ විට පන්දු 8කදී ලකුණු 3ක් ලබා සිටි නායක ඩුමිනිද ධනංජය ද සිල්වා හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු විය. ඒ අනුව ඔවුන්ගේ 10 වැනි පන්දුවාරය අවසානයේ ලකුණු 69කට කඩුලු 4ක්ම දැවී ගොස් තිබූ අතර 11 වැනි පන්දුවාරය යැවූ ලක්ෂාන් සඳකැන්ගේ පළමු , සිවුවැනි හා හයවැනි පන්දු තුනේදී පිළිවෙළින් ක්ලාසන් (18), පෙහෙලුක්වායෝ (0) හා රබාඩා (0) යන තිදෙනාම දවා ගන්නට සමත් වීමත් සමඟ අප්‍රිකානු ඉනිම කඩා වැටුණු අතර ඩේවිඩ් මිලර්ටද ලකුණු 14කට වඩා ලබා ගැනීමට අකිල ධනංජය ඉඩ දුන්නේ නැත.

ලකුණු සාරාංශය

දකුණු අප්‍රිකාව (පන්දුවාර 16යි පන්දු 4කදී) සියලු දෙනා දැවී ලකුණු 98
ක්වින්ටන් ඩි කොක් 29
රීසා හෙන්රිකස් 19 ක්ලාසන් 18
ඩේවිඩ් මිලර් 14
අකිල ධනංජය 4-0-15-2 කසුන් රාජිත 3-0-27-1 ධනංජය ද සිල්වා 4-0-22-2
ඉසුරු උදාන 1.4-0-9-1
ලක්‍ෂාන් සඳකැන් 4-1-19-3

ශ්‍රී ලංකාව (පන්දුවාර 16කදී කඩුලු 7කට) ලකුණු 99
දිනේෂ් චන්දිමාල් නොදැවී 36 ධනංජය ද සිල්වා 31
දසුන් ශානක 16
කැගිසෝ රබාඩා 4-0-24-2 ටාබේ්‍රස් ෂම්සි 4-1-26-2
ජූනියර් ඩලා 4-0-22-2
ජේ.පී.ඩුමිනි 1-0-2-1

ඡායාරූප _ තාරක බස්නායක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon