ළමයින් දඩයම් කරන උකුස්සෙක් අනුරාධපුරයේ

  👤  3302 readers have read this article !
By mawbima 2018-08-15

අනුරාධපුර _ මහේෂ් විජේසූරිය

උදෑසන නිවෙස ඉදිරිපිට මිදුලේ සෙල්ලම් කරමින් සිටි හත් හැවිරිදි කුඩා දැරියක් ගොදුරු කර ගැනීමට උත්සාහ කළ උකුස්සකු හට ඉදලෙන් පහරදී දැරිය බේරා ගැනීමට ඇගේ මව ඊයේ (14දා) සමත්වී තිබේ.

පෙරේදා (13දා) දවස පුරා කුඩා දරුවන් කිහිප දෙනකු ගොදුරු කර ගැනීමට උත්සාහ කළ 'සිළු බඹර උකුස්සකු' ගම්වාසීන් විසින් උගුලක් යොදා අල්ලාගෙන අනුරාධපුර වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට ආරක්ෂිතව භාරදෙනු ලැබ ඇත.

අනුරාධපුර පොලිස් වසමේ වේළුවනගම - සුචරිතගම ප්‍රදේශයේ පදිංචි හත් හැවිරිදි දෙව්මිනිඅමායා දැරිය ඊයේ (14දා) උදෑසන 7.30ට පමණ නිවෙස ඉදිරිපිට සෙල්ලම් කරමින් සිටියදී ඉහළ අහසේ සිට පියාඹා ආ මේ උකුස්සා එල්ල කළ ප්‍රහාරයෙන් දැරියගේ පිටට වැදුණු තියුණු නිය පහර හේතුවෙන් ඇය තුවාල ලබා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බාහිර වෛද්‍ය ප්‍රතිකාර ලබාදී රෝහලෙන් පිටත්කර තිබිණි.

පෙරේදා (13දා) දිනයේ සිට කුඩා දරුවන් ගොදුරු කර ගැනීමට මේ 'සිළු බඹර උකුස්සා' විශාල උත්සාහයක නිරත වී තිබුණු අතර ඉහළ අහසේ සිට ඊයක වේගයෙන් පැමිණෙන උකුස්සා අවස්ථා හතරකදී කුඩා දරුවන් සිවු දෙනකු පසුපස එළවා ඔවුන් ගොදුරු කර ගැනීමට උත්සාහ කර ඇතත් දරුවන් නිවෙස් තුළට වැදී උකුසු ප්‍රහාරයෙන් බේරී තිබේ.
ඊයේ (14දා) උදෑසන මේ කුඩා දැරිය ගොදුරු කර ගැනීමටඋත්සාහ කළ උකුස්සාට එම ඉලක්කය වැරැදී යෑමත් සම සුචරිතගම ගම්වැසියන් පිරිසක් මෙම පක්ෂියා ආරක්ෂිතව අල්ලා ගැනීමට මෙහෙයුමක් දියත් කර තිබිණි.

ඒ අනුව ගම්වාසී තරුණයන් පිරිසක් උකුස්සා ගැවසුණු ස්ථාන කිහිපයක් නිරීක්ෂණය කර අමු මස් කැබලි කිහිපයක් තබා උගුලක් අටවා උකුස්සා ඊට කොටු කර ඒ සම්බන්ධයෙන් අනුරාධපුර වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට දැනුම් දී තිබිණි. එහි පැමිණි වනජීවී නිලධාරීන් මෙම උකුස්සා 'ඔරියන්ටල් හනී බුසාඩ්' යන උද්භිත නාමයෙන් හඳුන්වන 'සිළු බඹර උකුස්සකු' බව පැවැසුවේය.

මේ දිනවල පවතින වියළි කාලගුණය සමඟ ආහාර සොයා ජනාකීර්ණ ප්‍රදේශවලට පක්ෂියා පියාසර කර තිබෙන බවත් පක්ෂියා අභය භූමියකට මුදාහරින බවත් නිලධාරියෙක් පැවැසුවේය.

උකුස්සාගේ ප්‍රහාරයට ලක් වූ දෙව්මිනි අමායා දියණිය එම සිදුවීමත් සමඟ බියට පත්වී සිටි අතර ඇය මෙසේ පැවැසුවාය. මම සෙල්ලම් කරමින් හිටියේ. උකුස්සා එක පාරටම ඇවිල්ලා මාව වහ ගත්තා. මගේ පිටට තුවාල වුණා යැයි පැවැසුවාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon