කථානායක කිසිදු බලපෑමකට යට වී නෑ

  👤  3057 readers have read this article !
By mawbima 2018-08-15

කථානායක කරු ජයසූරිය මහතා එම ධුරය භාරගත් 2015.09.01දා සිට අද දක්වා සම්පූර්ණයෙන්ම දේශපාලනයෙන් වියුක්තව, ස්වාධීනව කටයුතු කර ඇති අතර කිසිදු බලපෑමකට යටත් නොවූ බව කථානායක මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
එම නිවේදනයෙහි මෙසේද දැක්වෙයි.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක පදවිය පිළිබඳව කථානායකවරයා දුන් තීන්දුව පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රිවරුන් කිහිපදෙනකු විසින් මාධ්‍ය ඔස්සේ ද්වේෂ සහගත අපහාස කිරීම් සිදුකිරීම ගෙවී ගිය දින කිහිපය පුරාම නිරීක්ෂණය කළ හැකි විය.

කථානායකවරයා විසින් විපක්ෂ නායක ධුරය පිළිබඳව ස්වකීය තීන්දුව ගනු ලැබූයේ ඉතා පුළුල් සහ දීර්ඝ අධ්‍යයනයකින් පසුව බව අවධාරණය කරමු. මේ සඳහා දේශීය හා විදේශීය විශාරදයන්ගේ අදහස්, අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල පවතින සම්ප්‍රදායයන් හා පොදු රාජ්‍ය මණ්ඩලීය හා අන්තර් පාර්ලිමේන්තු සංගමයේ ප්‍රමිතීන්ද විමසා බැලීම සිදුවිය.

එමෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම් මහාචාර්ය විශ්වා වර්ණපාල සහ වර්තමාන මහ ලේකම් මහින්ද අමරවීර යන මහත්වරුන් විසින් එවන ලද 2015.09.01 දිනැති ලිපිය සහ 2018.08.06 දිනැති ලිපියද, එම ලිපිවල සඳහන් නිර්දේශයන්ද පිළිවෙළින් සලකා බලන ලද අතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් 143 දෙනකු විසින් අනුමත කරන ලද ස්ථාවර නියෝග 47(1) (ඇ) විධිවිධානය ඇතුළත් සැප්තැම්බර් 05 වැනි දින සම්මත කරන ලද යෝජනාවද මෙම තීරණය ගැනීමේදී උපයෝගී කරගනු ලැබීය. මීට ඉහත විපක්ෂ නායකවරුන් පත් කළ අවස්ථා හා මෙරට ජාතික ආණ්ඩු සංකල්පය හරහා පළමු වරට පත් කරන ලද මෙම පත්වීමේ පසුබිම වෙනස් බව අවබෝධ කොට නොගෙන මෙවැනි අසත්‍ය චෝදනා ඉදිරිපත් කිරීම අතිශයින් අසාධාරණ බව සඳහන් කළ යුතුව ඇත.

කථානායක ධුරයට පත් වූ දින සිට මේ දක්වා කාලය තුළ එක්සත් ජාතික පක්ෂය හෝ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක කාර්යාලයකට හෝ නොගොස් සපුරා දේශපාලන ක්‍රියාදාමයන්ගෙන් බැහැරව අපක්ෂපාතීව කටයුතු කළ බවද අවධාරණය කරමු. ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල සම්ප්‍රදාය වනුයේ කථානායකවරයා විසින් දෙනු ලබන තීරණ පිළිගැනීම හෝ එසේ නොවන්නේ නම් ප්‍රජාතන්ත්‍රවාදීව ඊට අවශ්‍ය ඊළඟ පියවර ගැනීමයි. එසේ නොමැතිව, තමන් අපේක්ෂා කරන මතය ප්‍රකාශ නොකළ පමණින්ම ඊට පරිබාහිර මතයන්ට සහ පුද්ගල චරිතයන්ට නිර්දය ලෙස පහර දීමත් පදනම් විරහිත සහ පහත් අන්දමේ විවේචනයන්ට ලක් කිරීමත් ශීලාචාර සමාජයක් විසින් අනුමත නොකරනු ඇති බවද සඳහන් කරමු.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon