වැලිකඩ සිරකාරියෝ තවමත් වහල උඩ සහායට වනාතමුල්ලෙන් කිරිපිටි-පාන්-බනිස්

  👤  3208 readers have read this article !
By mawbima 2018-08-15

කුමුදු උපුල් ශාන්ත

ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් පෙරේදා (13දා) පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ වහලය මතට නැඟුණු රැඳවියන් දෙවැනි දිනටත් ඊයේ (14දා) දවස පුරා එකී විරෝධතාවේ නිරතව සිටින අයුරු දක්නට ලැබිණි.

ඊයේ රාත්‍රි කාලය උදා වෙමින් තිබෙන විටත් මෙම කාන්තා රැඳවියන් 20 දෙනකු පමණ වහලය මතට නැඟ ඔවුන්ගේ ඉල්ලීම් සහිත දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ නිරතව සිටිනු දක්නට ලැබිණි.

මෙකී විරෝධතාවේ නිරත කාන්තා රැඳවියන් කණ්ඩායම් වශයෙන් වහලය මතට නඟිමින් _ බසිමින් එසේ විරෝධතාවේ නිරත වන බවද ඔවුන්ට කිසියම් විවේකයක් ලබා ගැනීම සඳහා එකී ක්‍රමවේදය අනුගමනය කරමින් සිටින බවද අනාවරණය වෙයි.

විරෝධතාවේ නිරත එකී කාන්තාවන්ට සහාය දක්වන වනාතමුල්ල ප්‍රදේශයේ කිසියම් පිරිසක් රැඳවියන් රඳවා සිටින නිවස්න වෙත එහි අවට තාප්පයට ඉහළින් පාන්, බනිස්, කිරි පිටි පැකට් වැනි ආහාර ද්‍රව්‍ය අඩංගු පාර්සල් විස්සක පමණ සංඛ්‍යාවක් දමා ඇති බවටද දැන ගැනීමට තිබේ.

මෙම විරෝධතාව නැවැත්වීම සඳහා බන්ධනාගාර අමාත්‍යාංශය පැත්තෙන් මේ වනවිට සැලකිය යුතු ප්‍රතිචාරයක් ලැබී නැති නමුත් එකී විරෝධතාවේ නිරත රැඳවියන්ට වහලයෙන් පහළට බැසීමට අවවාද කරන ලෙස බන්ධනාගාර අමාත්‍යාංශයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත දන්වා ඇති බවද එසේ පහළට බැස විරෝධතාව අත්හරිනු ලැබුවොත් අමාත්‍යාංශයෙන් නියෝජිතයකු පත්කර ඔවුන්ගේ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් ලබාදෙන බව අමාත්‍යාංශය දන්වා ඇති බවද වාර්තා වෙයි.

මේ අතර මෙකී විරෝධතාව හේතුවෙන් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටි රැඳවියන් බොහෝ පිරිසක් ඊයේ දිනයේදී අධිකරණවලට ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇති බවද ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් අධිකරණ වෙත කරුණු වාර්තා කර ඇති බවද අනාවරණය වෙයි.

මෙකී විරෝධතාවට සහාය දක්වන රැඳවියන් හා සහාය නොදක්වන රැඳවියන් අතර පෙරේදා පස්වරුවේ ඇති වූ ගුටිබැට හුවමාරුවෙන් තුවාල ලැබූ කාන්තාවන් සිවුදෙනා මේ වනවිට අදාළ ප්‍රතිකාර ගෙන බන්ධනාගාර කාන්තා රෝහලෙන් පිටත්කර යවා ඇති බවද වාර්තා වෙයි.

බන්ධනාගාර කාන්තා අංශය තුළ දින දෙකක් තිස්සේ ඇති වී තිබෙන මෙම නොසන්සුන්කාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් බන්ධනාගාර නිලධාරීන් හා බොරැල්ල පොලිසිය බන්ධනාගාරය වටා දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.

කෙසේ වුවද බන්ධනාගාරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් බන්ධනාගාර අමාත්‍යාංශය මඟින් මේ වනතුරුත් පොලිසියේ ආරක්ෂාව ඉල්ලා නැති බවද එසේ ඉල්ලීමක් කළොත් ආරක්ෂාව දීමට පොලිස් නිලධාරීන් යොදවන බවට නීතිය හා සාමය පිළිබඳ ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී පවසා තිබිණි.
මෙම රැඳවියන්ගේ විරෝධතාව පිටුපස පසුගිය දිනක එකී කාන්තා අංශයෙන් ස්ථානමාරු වී ගිය නිලධාරිනියක් සිටින බවද එකී නිලධාරිනියගේ පාලන කාලයේදී ඔවුන්ට හිමි වූ නීති විරෝධී පහසුකම් අහිමි වීම හේතුවෙන් ඔවුන් එසේ විරෝධතාවේ නිරත වන බවද බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් හා බන්ධනාගාර අමාත්‍යාංශයෙන් විමසීම් කළද දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර නොලැබිණි.

මෙම සිද්ධිය වළක්වාලීමට අවශ්‍ය තරම් නිලධාරිනියන් සිටියදී මෙකී විරෝධතාව මෙතෙක් දිග්ගැස්සෙන තෙක් නිහඬව සිටියේ කුමන හේතුවක් නිසාද යන්න පිළිබඳව තමන්ට කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස විෂය භාර අමාත්‍යවරිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට දන්වා යවා ඇති බවද දැන ගැනීමට තිබේ.

තවද මෙකී විරෝධතාව මැඬපැවැත්වීම සඳහා අවට බන්ධනාගාර කීපයක නිලධාරිනියන් කීප දෙනකු වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශය වෙත අද (15දා) දිනයේ ගෙන්වා ගැනීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන ඇති බවද වාර්තා වෙයි.

මේ අතර බන්ධනාගාර අමාත්‍යාංශයේ විශේෂ නිලධාරීන් කීපදෙනකු ඊයේ (14දා) රාත්‍රියේ 8.30ට පමණ බන්ධනාගාර මූලස්ථානය වෙත පැමිණ මෙම සිද්ධියට විසඳුමක් ලබා දීම සඳහා විරෝධතාවයේ නිරත රැඳවියන් පස් දෙනකු සමඟ මූලස්ථානයේදී සාකච්ඡාවක් පවත්වා ඇති බවට පුවත්පත මුද්‍රණයට යැවීමට පෙර දැනගැනීමට ලැබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon