අපේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේත් මුත්‍රා පරීක්ෂා කළ යුතුයි

  👤  3094 readers have read this article !
By mawbima 2018-08-15

ජේ.ටී. ද සිල්වා

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව ලංකාවට ග්ලයිෆොසේට් ගෙන්වීමට කෘෂි රසායන රෙජිස්ට්‍රාර්වරයාට හැකියාවක් නොමැති යැයිද සෞඛ්‍ය ලේකම්වරයාගේ අනුමැතියකින් තොරව, විරෝධතාව නොතකා නීතියට පිටින් ගොස් ග්ලයිෆොසේට් ලංකාවට ආනයනය කරන්නේදැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රශ්න කරයි.

යුරෝපා සංගමය ඇතුළු ලෝකයේ බොහෝ රටවල් ග්ලයිෆොසේට් තහනම් කොට හෝ ඉදිරියේදී තහනම් කිරීමට වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි සඳහන් කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එම තීරණය ගැනීමට පෙර, යුරෝපා පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රිවරුන්ගෙන් මුත්‍රා සාම්පල් ග්ලයිෆොසේට් සඳහා පරීක්ෂා කළ බවත්, එම සියලු මුත්‍රා සාම්පලවල ගල්යිෆොසේට් සහිත බව තහවුරු වී ඇති බවත් අවධාරණය කරයි.

වසර කිහිපයක් ඇතුළත ග්ලයිෆොසේට් යුරෝපා සංගමය තුළ තහනම් කිරීමට යුරෝපා පාර්ලිමේන්තුව ඒකමතිකව තීරණය කළ බවත්, ඒ අනුව මෙම ආදර්ශය අපද ගෙන, වහාම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රිතුමන්ලා සියලු දෙනාගේ ගල්යිෆොසේට් සඳහා මුත්‍රා පරීක්ෂාවක් සිදුකළ යුතුව ඇතැයි එම සංගමය කියා සිටී.

සෞඛ්‍ය ලේකම්වරයාගේ විරෝධය නොතකා, කෘෂි රසායන රෙජිස්ට්‍රාර්වරයා ගල්යිෆොසේට් ආනයනය කරනවාදැයි සොයා බලන ලෙස තම සංගමය සෞඛ්‍ය ඇමැතිවරයාට දන්වා සිටින බව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක, වෛද්‍ය නලින්ද හේරත් පැවැසීය.

ලොව පුරා ග්ලයිෆොසේට් භාවිතය දශක කිහිපයක් ඇතුළත පහළොස් ගුණයකින් ඉහළ නංවා ගැනීමටත්, ඒ හරහා කෝටි ප්‍රකෝටි ගණනක ලාභයක් ලැබීමටත්, ග්ලයිෆොසේට් නිපදවන මොන්සැන්ටෝ සමාගමට හැකියාව ලැබී ඇත්තේ ඉතා කූට ලෙස විද්‍යාඥයන්, දේශපාලනඥයන් ඇතුළු වෙනත් කණ්ඩායම් සඳහා අල්ලස්ද ලබාදෙමින් යැයි වෛද්‍ය නලින්ද හේරත් පැවැසීය.

ඒ හරහා සමහර විද්‍යාත්මක පර්යේෂණවල දත්ත පවා වෙනස් කිරීමට ඔවුන් කටයුතු කර ඇති බවට චෝදනා එල්ලවී ඇතැයිද කොළඹදී ඊයේ (14දා) පැවැති මාධ්‍ය හමුවකදී වෛද්‍ය නලින්ද හේරත් සඳහන් කළේය.

අද වනවිට ලෝකය පුරා ආහාර දාමයන් හා ආහාර ජාලයන්හි සෑම ස්ථරයක්ම ගල්යිෆොසේට් සාන්ද්‍රණයක් සහිත බව තහවුරු වී ඇතැයිද, ඒ හරහා මිනිස් සිරුරටද ඉතා නිර්ලෝභී ලෙස ග්ලයිෆොසේට් ඇතුළත් වී ඇතැයිද වෛද්‍යවරයා පැවැසීය.

මිනිස් සිරුරේ මවු කිරි හා මුත්‍රා හරහා ග්ලයිෆොසේට් බැහැරවන අතර, සියලු ජල මූලාශ්‍රයන්ද ග්ලයිෆොසේට් මඟින් විස සහිතවී ඇති බව තහවුරු වී ඇති බවද හෙතෙම පෙන්වා දෙයි.

මිනිස් ආහාර මාර්ගයට ඇතුළු වන ග්ලයිෆොසේට් බඩවැල් තුළ සිටින, මිනිසාට හිතකර ක්ෂුද්‍රජීවීන් සියල්ල විනාශ කර දමන බවත්, ඒ වෙනුවට මිනිසාට ලෙඩරෝග ගෙන එන හානිකර බැක්ටීරියා වර්ධනය ප්‍රවර්ධනය කරන බවද වෛද්‍ය නලින්ද හේරත් සඳහන් කරයි. මීට අමතරව ශරීරයට හානිකර විස සහිත සංඝටක හා අනෙකුත් රසායනිකයන්ගෙන් මිනිස් සිරුර ආරක්ෂා කර ගැනීමට ඇති ස්වාභාවික ආරක්ෂක ක්‍රියාවලිය අඩපණ කරන බවද වෛද්‍යවරයා පැවැසීය.

මිනිස් සිරුරට ගල්යිෆොසේට්වල හානිකර බලපෑම, මිනිස් මොළයේ ක්‍රියාකාරිත්වය අඩපණ කරන බවත්, ච්ඥථඥදබඪච හෙවත් අමතක වීමේ රෝගය ඉස්මතු කරන අතර, අක්මාව ලෙඩ කර, මද්‍යසාර භාවිත නොකරන පිරිස් පවා සිරෝසීස් නම් රෝග තත්ත්වයෙන් මරණය කරා ගෙන යෑමට ග්ලයිෆොසේට් ඉවහල් වන බවත් වෛද්‍ය හේරත් අවධාරණය කරයි.

මිනිස් හෝමෝන පද්ධතිය දරුණු ලෙස විනාශ කර, ඒ අනුව දියවැඩියාව, කාන්ත පුරුෂ වඳ බව ලොව පුරා දිනෙන් දින ඉහළයමින් පවතින බවත්, අලුත උපන් දරුවන් අතර මන්දබුද්ධිකභාවය ඉහළ යන අතර, ඒභබඪඵථ (ඔටිසම්) නම් රෝගී තත්ත්වය කෙරෙහි දරුණු ලෙස බලපෑම් කරන බවත් සඳහන් කරන වෛද්‍ය නලින්ද හේරත්, ගර්භණී කාලයේ අවසන් කාලසීමාවේදී ග්ලයිෆොසේට්වලට නිරාවරණය වන කාන්තාවන්ගේ කුස තුළ සිටින දරුවාට මාරාන්තික ප්‍රතිඵල උදා කරලීමට ග්ලයිෆොසේට් සමත්වන බව සඳහන් කළේය.

ග්ලයිෆොසේට් හරහා ච්ව්ඒ විකෘති කිරීම්වලට ලක්කර, ශරීරය පුරා පිළිකා තත්ත්වයක් ඇති කිරීමට දායකත්වය ලබාදෙන අතර, ලොව පුරා විවිධ පර්යේෂණවලින් තහවුරු වී ඇති පරිදි, ග්ලයිෆොසේට් මඟින් වකුගඩු රෝග සඳහා වන බලපෑමද සුළුපටු නොවන බවද වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.මේ වනවිටත් ඇමෙරිකා එක්සත් ජනපදයේ සැන්ෆ්‍රැන්සිස්කෝ දිස්ත්‍රික් උසාවියේ පමණක් ග්ලයිෆොසේට්වලට එරෙහි නඩු 400කට අධික ප්‍රමාණයක් විභාග වෙමින් පවතින බව පෙන්වාදෙන වෛද්‍ය නලින්ද හේරත්, ග්ලයිෆොසේට් පිළිබද සුවිශේෂී අවධානය යොමුකර ඊට අවශ්‍ය මැදිහත්වීම සිදුකරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ඉල්ලීමක් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon