වතුකරයටත් ගම්පෙරළිය පැමිණෙනවා

  👤  3130 readers have read this article !
By mawbima 2018-08-15

වතුකරයටත්, ගම්පෙරළිය පැමිණෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. ඉන්දීය රජයේ ආධාර යටතේ කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය එක්ව නුවරඑළිය ඩන්සිනන් වතුයායේ ඉදිකරන ලද මහත්මාගාන්ධිපුරම් වන වතු ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ පවසන ලදී.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.

මේ ගමේ ඉන්න අයට රටේ අනෙක් ගම්මානවල ඉන්න අය වගේ සම්පූර්ණ භුක්තිය විඳිනවා. තමන්ගේම කියලා බිම් කොටසක් තියෙනවා. ගෙයක් තියෙනවා. ගෙදරට වතුර තියෙනවා. දැන් ඔබ නියම ශ්‍රී ලාංකිකයෙක්. අන්න ඒ අයිතිය ඔබට ලබලා දීලා තියෙනවා. පුරවැසියෙක් විදියට ඔබ එය ලබා ගත යුතුයි. මේක ආරම්භයක් විතරයි. මේකට මහත්මාගාන්ධිපුරම් කියන්නේ මහත්මාගාන්ධි මැතිතුමා ලංකාවට ආපු වෙලාවේ වතුකරය ගැන විශේෂ අවධානයක් යොමුකළ නිසා. ශ්‍රී ලංකාවේත් ඉන්දියාවේත් අපි ඔක්කොටම තියෙන්නේ එක සංස්කෘතියක්. එක ඉතිහාසයක්.

මේ ගම්මානය නරේන්ද්‍ර මෝදි අගමැතිතුමා අපිට දුන්න ගෙවල් හැට දහසින් කොටසක් විතරයි. ඉතිරි ගෙවල් ටික උතුරේ ජනතාවට ලබලා දීලා තියෙනවා. මේ ගෙවල් හදන එක එදා අපි දුන්න පොරොන්දුවක්. තව මම කිව්වා වතුකරයේ උසස් පෙළ විද්‍යා අංශයේ පාසල් ඇති කරනවා කියලා. දැන් ඒක කරලා තියෙන්නේ.

දිගම්බරන් ඇමැතිතුමාට කරන්න තියෙන්නේ අපි හඳුන්වා දුන් 'එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා' ණය යෝජනා ක්‍රමයෙන් මේ අයට ණය අරන් දෙන එක. කඩ සාප්පු දාන්න නව ව්‍යාපාර පටන් ගන්න.

ආණ්ඩුව බලයට ආවේ සාමාන්‍ය ජනතාවට උදවු කරන්න. මේ රට ඉදිරියට ගෙනියන්න. අපි එනකොට මේ රටේ ජාතිවාදය තිබුණා. වතුකරයේ ජනතාව බයෙන් හිටියේ. අද ජාතිවාදය නැහැ. අපි ටිකෙන් ටික එකතු වෙමින් ඉන්නේ. අද ජාතික සමඟිය ඇති වෙනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා. මෙතැන කැමරා කීයක් තියෙනවාද. ඒවායෙන් දෙකක් හැර අනෙක් ඔක්කොම හවසට අපට බනින්න ඉන්නේ. ඒත් ඒ එක්කෙනෙක්වත් සුදු වෑන්වලින් ගෙනියන්නේ නැහැ. අන්න එහෙම නිදහසක් තියෙනවා.

අපි ආණ්ඩු බලය ගන්නකොට ලොකු ණය බරක් තිබුණා. අපි නෙවෙයි ඒ ණය ගත්තේ. ඒ වුණාට ඒ ණය අපි ගෙවන්න ඕනේ. නැත්නම් රට බංකොලොත් වෙනවා. ඒක නිසා අපිට වුණා බදු වැඩි කරන්න. එම නිසා අපි බැනුම් ඇහැව්වා. ගිය සැරේ අපිට විරුද්ධව ඡන්දේ දුන්න ප්‍රාදේශීය සභාවලදී. මේ තුන්වැනි අවුරුද්ද ඉතිරි වැඩ ටික ඉදිරියට ගෙනියන්න දෙන්න. 2015 දර්ශනය ඉදිරියට ගෙනියන්න දෙන්න. ඒ වෙනකොට මේ ප්‍රශ්න විසඳගෙන අපි ඉදිරියට යනවා.

රාගල - තිලක් ද සිල්වා / හැටන් - චන්න අද්දරගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon