අන්තිමට එල්ලෙන්න වෙන්නේ ආණ්ඩුවේ ලොක්කන්ට

  👤  3126 readers have read this article !
By mawbima 2018-08-15

''සිංගප්පූරු ගිවිසුමේ තියෙනවා කුණු කසළ වර්ග 70ක් ලංකාවට ගේන්න පුළුවන් බදු නැතිව. නගර සභා කුණු, වැසිකිළිවලින් ඉවත ලන මල අපද්‍රව්‍ය, න්‍යෂ්ටික අපද්‍රව්‍ය, ඉස්පිරිතාලවල කුණු ඔක්කොම ගේන්න පුළුවන්. ගිනි කඳු නැතිවට කුණු කඳු ගොඩ ගහන්න යන්නේ' යැයි ජවිපෙ මධ්‍යම පළාත් සභා මන්ත්‍රි දූෂණ විරෝධී හඬ සංවිධානයේ සභාපති වසන්ත සමරසිංහ මාවනැල්ල අලුත්නුවරදී පැවැසීය.

ඒ මහතා මෙසේ පැවැසුවේ පසුගියදා මාවනැල්ල අලුත්නුවරදී පැවැති ජන හමුවකදී අදහස් දක්වමිනි. 'රට රකින රට හදන ජනතාවාදී පාලනයක්' යන තේමාවෙන් පැවැති මෙම ජන හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය.

මේ දවස්වල වැඩියෙන්ම කතා වෙන මාතෘකාව මොකක්ද මන්ත්‍රිවරුන්ගේ පඩි වැඩි වීම. ඒක නවත්වන්න බැහැ. ජනාධිපති කියන්නේ බොරු. ඒකත් අර තෙල් මිල වැඩි වීම වගේ තමයි. වැඩි කරන්න දෙන්නේ නැහැ කියලානේ කිව්වේ. හැබැයි දවස් දෙකකින් වැඩිවුණා. පඩි වැඩි වීමත් ඒ වගේ දන්නේම නැතිව වෙයි. සාමාන්‍යයෙන් අපේ රටේ නීතියක් තියෙනවා පාර්ලිමේන්තුව උත්තරීතරයි කියන පදනම මත ශේ‍ර්ෂ්ඨාධිකරණයේ විනිසුරුවන්ට ඉහළින් මන්ත්‍රිවරුන්ගේ වැටුප් තල තියෙන්නේ. මේ ආණ්ඩුව ජනවාරි මාසයේ විනිසුරුවන්ගේ පඩි වැඩි කළා. ඒ නිසා ඊට සමානුපාතිකව මන්ත්‍රිවරුන්ගේත් වැටුප් වැඩි විය යුතුයි. දැන් එහෙම නොකර ඉන්න බැහැ. ජනාධිපතිතුමා නම් කිව්වේ ආර්ථිකය භාර ගන්නවා කියලා. නමුත් දැන් මොකද කරන්නේ එල්ලුම් ගහ වටේ කැරකි කැරකි ඉන්නවා. අන්තිමේදී එයාම එල්ලෙයිද දන්නේ නැහැ. කොහොමත් මේ අවුරුදු හය ඉවර වෙනකොට ආණ්ඩුවෙ ලොක්කන්ට එල්ලෙන්න තමයි වෙන්නේ.

කොළඹ පැත්තේ ගිහින් බලන්න චීන ජාතිකයන් කොච්චර ඇවිත් ඉන්නවාද කියලා. මහින්ද රාජපක්ෂ මහත්තයා මොකුත් කියන්නේ නැහැ ඒ ගැන. සල්ලි අරන් අහුවෙලා ඉන්නේ. විවාදෙකට එන්න කිව්වට එන්නේ නැහැ. පන්සල්වලට ගිහිල්ල බණ ගෙවල්වල ගිහිල්ල බයිලා කියනවා. අපි එන්න කිව්වා විවාදෙකට අනුර සහෝදරයා එන්න කිව්වා කිහිප සැරයක් විවාදෙකට. ඔයා සල්ලි ගත්ත කියලා අපි ඔප්පු කරනවා. සල්ලි දීපු ආයතන, චෙක්පත් අංක, මාරු කරපු අය ඔක්කොම පාර්ලිමේන්තුවේදී අපි එළිකළා. ලැජ්ජා තියෙනවා නම් ඇවිල්ලා කියන්න එපැයි නෑ මං ගත්තේ නැහැ කියලා. හොරකම් කරලා හිරේ යනකොට පිරිත් නූල් බඳිනවා හාමුදුරුවෝ ගිහිල්ලා. දැන් ඔය පෝය දාට පන්සල්වලට ගියාම පොඩි එවුන් ඇහුවොත් සාදු ඇයි අර හොරකම් කරපු මාමලාට පිරිත් නූල් බඳින්නේ කියලා.

සිල් රෙදි බෙදලා මහින්ද රාජපක්ෂ මහත්තයා මොනවද කිව්වේ මට සිල් රෙද්දක්වත් බෙදන්න බැරිද කියලා. බෙදන්න එපැයි අම්ම තාත්තාගේ සල්ලිවලින්. ආණ්ඩුවේ සල්ලිවලින් නැතිව. ලංකාව වටේ තුන් පාරක් ඔතන්න පුළුවන් ඒ සිල් රෙදි ටිකෙන්.

මහින්ද රාජපක්ෂ මහත්තයා 2015දී පැරැදිලා ගෙදර යනකොට 42ක් හිටපු රනිල්ට දුන්නනේ ආණ්ඩුව. ඇයි දුන්නේ තමන්ගේ කට්ටියට කරදර කරන්න එපා කියලා ඩීල් එකක් දාලයි දීලා ගියේ. ඒකනේ කවුරුවත් දැන් හිරේ ඉන්නවද. නෑ. ඊට පස්සේ ආපු කට්ටියත් හොරු ඇල්ලිල්ල පැත්තක දාලා පටන් ගත්ත හොරකම් කරන්න. අපි රටක් හැටියට අරන් තියෙන ණය බැලුවොත් ඔබට අදහසක් එන්නෙත් නැහැ. ඒකට හේතුව ඒ තරම් විශාලයි. හරියට ගම්වල ගිනි පොලියට ණය ගත්තම වගේ. ණය ගෙවන්න නැවත ණය ගන්න වෙලා තියෙන්නේ.

දෙවනගල - ජනනාත් වික්‍රමසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon