බිරිය බේරා ගන්නට පිහිටක් ඉල්ලන අලුත්වැවේ රණවිරුවෙක්

  👤  3128 readers have read this article !
By mawbima 2018-08-15

ගලේවෙල -
තිලක් පල්ලේගෙදර

බඹරගස්වැව, අලුත්වැව පදිංචි එච්.එම්. චමින්ද තුෂාර විජේරත්න ආබාධිත රණවිරුවෙකි. සෙබළ අංක 261858 යටතේ සිංහ රෙජිමේන්තුවට අනුයුක්තව සිටියදී 2000 ඔක්තෝබර් 26දා යාපනය 'රිවිකිරණ' ක්‍රියාන්විතයේදී පුද්ගලනාශක බිම් බෝම්බයකට හසුවී සිය වම් කකුල අහිමිව සිටින අයෙකි.

2015දී ආබාධිත තත්ත්වය හේතුවෙන් විශ්‍රාම ගොස් ඇත. එම ආබාධිත රණවිරුවාගේ බිරිය වන කේ.ජී. ශි්‍රයානි කුමාරි (37) අවුරුදු 09ක පමණ කාලයක් තිස්සේ වකුගඩු රෝගයකින් පීඩා විඳියි. දරු තිදෙනකුත් සමඟ ජීවන අරගලයකට මුහුණදී ඇති මේ රණවිරුවා සිය දුක් ගැනවිල්ල මෙසේ විස්තර කළේය.

"අවුරුදු 09ක පමණ කාලයක් තිස්සේ මගේ බිරිය වකුගඩු රෝගයකින් පීඩා විඳිනවා. ඇය පරීක්ෂා කළ මහනුවර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ.ඩබ්ලිව්.එම්. වසිල් මහතා පැවැසුවේ ඇයගේ වකුගඩු හැකිළී තිබෙන බවත් ඒ සඳහා '0+' වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවයි. හමුදාවේදී ඇති කරගත් චිත්ත ධෛර්ය නිසාම බිරියගේ මෙම අසාධ්‍ය රෝගය සුව කර ගැනීමට මම වෙර දරමින් ඉන්නවා. ඇගේ මෙම ශල්‍යකර්මය සඳහා රුපියල් මිලියන තුනක් පමණ වැය වන බව වෛද්‍යවරයා පවසනවා. මට අවුරුදු 17 හා 09 යන වයස්වල දියණියන් දෙදෙනෙක්ද අවුරුදු 12ක පුතෙක්ද සිටිනවා. ඔවුන් සියලුදෙනාම පාසල් යනවා. දරු තිදෙනාත් පෝෂණය කරමින් ඔවුන්ගේ සියලු අවශ්‍යතා පිරිමහමින් ජීවත් වන මම මේ තරම් ලොකු මුදලක් හොයාගන්නේ කොහොමද? විශ්‍රාම වැටුප හැර මට වෙන ආදායම් මාර්ගයක් නෑ. මෑතක සිට දින දෙකකට වරක් ලේ පිරිසුදු කිරීමට වාහනයකින් රෝගී බිරිය මහනුවර මහ රෝහලට ගෙන යෑමට සිදු වී තිබෙනවා. ඒ සඳහා එක් වරකට රුපියල් දහ ‍ෙදාළොස් දාහක් වැය වෙනවා. ඊට අමතරව හිටපු ගමන් ඇය අසනීප වෙනවා. ඇය ආහාර ගන්නේ ඉතා මඳ වශයෙන් නිසා ශරීර සෞඛ්‍ය ඉතා දුර්වල තත්ත්වයකයි පවතින්නේ.

අපි දිවා-රාත්‍රි කල්පනා කරන්නේ ඇය සුවපත් කරන්නේ කොහොමද කියලායි. වැඩක් පළක්, ගමනක් බිමනක් යන්නට හිතෙන්නේ නෑ. දවසින් වැඩි කාලයක් දරුවොත් එක්ක මුහුණෙන් මුහුණ බලාගෙන කාලය ගත කරනවා හැර වෙන කරන්න දෙයක් නෑ.

ඇයගේ අසනීපය සුවපත් කර ගැනීමට උපකාර ඉල්ලා කියන්න සිටින හැම කෙනකුටම කියලා තිබෙනවා. ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත් දන්වා තිබෙනවා.
ඇය ඉක්මනින් සුව කර නොගතහොත් ජීවිතය පවත්වාගෙන යෑම අසීරු වන බව වෛද්‍යවරු පවසනවා.

ඒ නිසා මම පත්වී ඇති අසරණ තත්ත්වය තේරුම් ගෙන ඇය සුවපත් කර ගැනීමට කාරුණික ඔබ උදවු කළොත් පින් සිද්ධ වෙනවා" යැයි පැවැසීය.
ඔහුගේ ගිණුම් අංකය 115-2-002-4-6502713 මහජන බැංකුව, ගලේවෙල, දුරකථන අංකය 076-1263394

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon