පක්ෂය වෙනුවෙන් පෝස්ටර් ගහපු පිරිසට සලකන එකේ වරදක් නෑ

  👤  3132 readers have read this article !
By mawbima 2018-08-15

තමන්ට විරුද්ධව මොන තරම් උද්ඝෝෂණ කළත් පෙළපාළි ගියත් තමන්ට මොන තරම් විරුද්ධකම් කළත් අවුරුද්දක් ඇතුළත සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ පත්වීම් ස්ථීරකර විශ්‍රාම වැටුප හදා දීමේ වගකීම භාර ගන්නා බවත් මේ වසර අවසන්වීමට පෙර ලක්ෂ දෙකකට අධික පිරිසකට අලුතින් සමෘද්ධිය දෙන්නත් බලාපොරොත්තු වන බවත් සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය පී. හැරිසන් මහතා පැවැසීය.

පසුගියදා බදුල්ල පුස්තකාලය ශ්‍රවණාගාරයේදී සමෘද්ධි නිලධාරීන්ගේ ගැටලු සොයා බැලීම සඳහා පැවැති
රැස්වීමක් අමතමින් අමාත්‍යවරයා එසේ පැවැසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය පී. හැරිසන් මහතා මෙසේද පැවැසීය.

මේ සමෘද්ධි ව්‍යාපාරයේ දැන උගත් නිලධාරීන් 27,000කට අධික පිරිසක් ඉන්නවා. සමෘද්ධි පවුල් ලක්ෂ 14ක් ඉන්නවා. ඒ නිසා මේ ප්‍රශ්නෙ දෙපැත්තක් තියෙනවා. දැන් ලේබලයක් අලවලා තියෙනවා සමෘද්ධි නිලධාරියා කිව්වම දේශපාලනයට කඩේ යන මිනිහෙක් කියලා. එක්සත් ජාතික පාක්ෂිකයා ගමේ සමෘද්ධි නිලධාරියා දිහා බැලුවේ යකෙක් හැටියට. ජවිපෙ මේ අය දිහා බැලුවේ දේශද්‍රෝහියෝ හැටියට. මොකද මේ පත්වීම් දීලා තියෙන්නෙ 94 වර්ෂයේ බැහැලා දේශපාලනය කරපු අයට. නැත්නම් පවුලෙ අයට. ඒක රහසක් නෙවෙයි. මොකද ආණ්ඩුවක් වුණාම එහෙම කරන්න වෙනවා.

එදා යූ.එන්.පී. එකට වැඩ කරපු අයටත් වගා නිලධාරි පත්වීම්, විශේෂ සේවා නිලධාරි පත්වීම් දුන්නා. බැංකු පත්වීම් දුන්නා. එහෙම කරන්න වෙනවා. මම ඒකෙ වරදක් දකින්නෙ නැහැ. එහෙම නොකෙරුවොත් තමයි ඒ අය කෙළෙහිගුණ නොදන්න පිරිසක් වෙන්නෙ. හැම ආණ්ඩුවක්ම බලයට එනකොට තමන් වෙනුවෙන් පෝස්ටරයක් ගහපු, ගමේ රැස්වීමක් සංවිධානය කරපු මිනිසුන්ට සලකන්න වෙනවා. ඒකයි ශ්‍රී ලංකා ආණ්ඩුවත් කළේ 94 අවුරුද්දේ.

නමුත් මේ ආණ්ඩු දෙකේ වෙනසක් තිබ්බා. අපි එක්සත් ජාතික පක්ෂය පත්වීමක් දීලා ඒ තනතුරේ තියාගෙන හිටියෙ නැහැ. ඒ මනුස්සයාට ඒ තනතුරේ ඉඳලා ඉහළට යන්න ඉඩකඩ හදලා දුන්නා. ඒ මනුස්සයාගේ පත්වීම් ස්ථිර කළා. සමහර ග්‍රාම සේවක මහත්වරු විභාගෙ ලියලා ප්‍රාදේශීය ලේකම් බවටත් පත් වුණා. ඒ වුණත් පසුගිය කාලේ තමන්ගෙ ඡන්ද මැෂිම තියා ගන්න ඕන නිසා මේ අය කළේ අදයි හෙටයි කිය කියා ඉඳලා අවුරුදු 23ක් යනකල් මේ සමෘද්ධි නිලධාරියාගේ ප්‍රශ්න ටික විසඳන්න බැරි වුණා. මේ අය උද්ඝෝෂණ කරන්න ඕන අද නෙවෙයි එදා. මහ පාරෙ උද්ඝෝෂණය කරලා විසඳන්න පුළුවන් නම් මාත් එනවා උද්ඝෝෂණ කරන්න.

අද වෙනකොට මේ සමෘද්ධි නිලධාරීන් එක්දහස් ගණනක් විශ්‍රාම ගිහින් තියෙනවා. ඒ පවුල්වලට අද කිසිම දෙයක් නැහැ. එකසිය ගාණක් මැරිලා තියෙනවා. ඒ පවුල්වලට වෙච්ච දෙයක් නැහැ. තව අවුරුදු දෙකකින් 5000ක් විශ්‍රාම යනවා. දැන් ඒවට වග කියන්නෙ කවුද? කෝ වෘත්තීය සමිති. 2014 මාතර තිබුණු රැස්වීමේදී මේ සමෘද්ධි නිලධාරීන් බැසිල් රාජපක්ෂ මහත්තයට ගිහින් කිව්වා අපිව ස්ථිර කරන්න කියලා. එතුමා කිව්වා උඹලා ස්ථිර කළොත් අපි ඡන්ද කරන්නෙ කොහොමද කියලා. අද මේ දේවල් කවුරුත් කතා කරන්නෙ නැහැ.

මම ඇවිත් මාස දෙකයි. මම ඉස්සෙල්ලාම කතා කළේ සමෘද්ධිය නැති කෙනකුට සමෘද්ධිය දෙන්න නෙවෙයි. මම කිව්වේ සමෘද්ධිලාභියා ශක්තිමත් කරන්න ඉස්සෙල්ලා මේ අසාධාරණයට ලක් වෙලා ඉන්න නිලධාරීන්ගේ රක්ෂාව ශක්තිමත් කරන්න. මේ සේරම කෙරීගෙන යනකොට සමහර වෘත්තීය සමිතිකාරයන්ට ජෙලස්. දැන් එයාල බලනවා මේක කඩාකප්පල් කරන්න.

සිවිල් ආරක්ෂක නිලධාරීන් 48,000ක් ආණ්ඩුව ආපු හැටියෙම ස්ථිර කරලා පත්වීම් ටික දෙන්න පුළුවන් වුණා නම් අවුරුදු 23න් අවුරුදු 20ක්ම පොදු පෙරමුණ ආණ්ඩුවෙන් ඇයි මේ සමෘද්ධි නිලධාරීන් ටික ස්ථීර කරන්න බැරි වුණේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon