පන්සිල් රැකගෙන ජීවත් වෙනවා නම් එල්ලුම් ගහ අපේ රටට ඕනෑ නෑ

  👤  3230 readers have read this article !
By mawbima 2018-08-15

මම අධිකරණ විෂය භාර ඇමැතිවරිය මිසක් අධිකරණයේ නායකයා නෙවෙයි. සමහර අය හිතාගෙන ඉන්නවා රටේ තියෙන සියලු අධිකරණ ප්‍රශ්න විසඳන්නේ අධිකරණ ඇමැති කියලා.

බන්ධනාගාර තුළ සිදුවන දේවල් සම්බන්ධව ගන්න තීරණ පිළිබඳව කවුරු මොනවා කිව්වත් මට ප්‍රශ්නයක් නැහැ. මගේ නායකයෝ දෙන්නා කියනවා නම් විතරයි මට ප්‍රශ්නය තියෙන්නේ.

තමන්ගේ වෘත්තියේ ගරුත්වය ආරක්ෂා කරගෙන කටයුතු කිරීම නීතිඥයන්ගේ වගකීමක්.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණඅමාත්‍ය නීතිඥ තලතා අතුකෝරල මහත්මිය මේ අදහස් පළ කළේ රත්නපුර නව අධිකරණ සංකීර්ණය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තැබීමේ උත්සවය පැවැත්විණි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙසේද සඳහන් කළාය.

මේ නව අධිකරණ සංකීර්ණය ඉදිකරන්න ගරු මුදල් අමාත්‍යතුමා විසින් මුදල් වෙන් කරලා තියෙනවා. හැබැයි ඉතින් ඇතැම් නීතිඥවරුන් විසින් මොකද මේ තරම් හොඳ අධිකරණ සංකීර්ණයක් තියෙද්දීත් මුදල් නාස්ති කරන්නේ ඇයි කියලා ලියුම් කෑලි එහා මෙහා යවලා තියෙනවා. මුදල් ඇමැතිතුමාට ස්තුතිවන්ත වෙන්න ඕන මොකද මේක නිකම් පොඩි ගොඩනැඟිල්ලක් නෙවෙයි රුපියල් ලක්ෂ විසි පන්දහසක සංකීර්ණයක්. මිලියන දෙදහස් පන්සීයක් ලබාදීලා තියෙනවා.

අපි ඔක්තෝබර් මුල් සතිය තුළදී කොළඹ අධිකරණ 40කින් සමන්විත කොළඹ නව සංකීර්ණයේ වැඩ ආරම්භ කරනවා. අපේ රටේ විශාල ප්‍රශ්නයක් තිබෙනවා. හත් ලක්ෂ විසිපන්දහසක පමණ නඩු සංඛ්‍යාවක් ගොඩගැහිලා තියෙනවා යැයි ද අමාත්‍යවරිය සඳහන් කළාය.

මම අධිකරණ විෂය භාර ඇමැතිවරිය මිසක් අධිකරණයේ නායකයා නෙවෙයි. සමහර අය හිතාගෙන ඉන්නවා රටේ තියෙන සියලු අධිකරණ ප්‍රශ්න විසඳන්නේ අධිකරණ ඇමැති කියලා. ඒක වැරැදි මතයක්. එහෙම වෙච්ච යුගයක් තිබුණා. අපි ඒ යුගය අවසන් කරලා තියෙන්නේ. මට භය නැතිව කියන්න පුළුවන් ඕන කෙනෙක් ඉස්සරහ උත්තර දෙන්න පුළුවන්. අධිකරණයේ ස්වාධීනත්වය අපි උපරිම වශයෙන් ඇති කරලා තියෙනවා. අගවිනිසුරුතුමාගේ නායකත්වය යටතේ එය තහවුරු කරලා තියෙනවා. දැන් මෙතැන කතාවේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිතුමා කිව්වා වගේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරගෙන කටයුතු කරන නීතිඥයෝ වෙන්න ඕන. ප්‍රමාද වෙලා තිබුණු දේ කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරන්න අපි පසුගිය දිනවල රටේම නීතිඥ සංගම් රැස්කළා.

ඒ අවස්ථාවලදී සමහර අය කතා කරන විදිය හැසිරෙන විදිය දැක්කහම අපට සැකයක් ඇති වෙනවා ඇයි මෙහෙම වෙලා තියෙන්නේ නීතිඥ වෘත්තියට කියලා. වෘත්තීය ගරුත්වය ඉදිරියට එන නීතිඥවරුන් ආරක්ෂා කළේ නැත්නම් අධිකරණයේ ස්වාධීනත්වය අපි කොයි තරම් හැදුවත් වැඩක් වෙන්නේ නැහැ.වසර 42කට ඉස්සෙල්ලා පුද්ගලයෙක් එල්ලලා මැරුවයින් පස්සේ නැවතත් එල්ලා මරන එකක් ගැන කතා කරන්නේ ඇයි? මේ විදියට සමාජය පිරිහිලා තියෙන්නේ ඇයි? මොකක්ද වුණු වරද? අපි තම තමන්ගේ ආගම දහම අනුව පන්සිල් පද පහ අනුගමනය කරමින් ජීවත් වීම ඉතා වැදගත් බවද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

බෙලිහුල්ඔය - සමන්තා රත්නායක, ඇඹිලිපිටිය - රූපසේන පත්තුව, කුරුවිට - කේ.ඒ.එස්. ජයතිලක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon