රාජ්‍ය ඇමැතිවරයකු මැදිහත්වී එජාප ප්‍රබල වෘත්තීය සමිතියක් දෙකට කඩලා

  👤  3157 readers have read this article !
By mawbima 2018-08-14

උපතිස්ස පෙරේරා

එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රබල වෘත්තීය සමිතියක් ලෙස සැලකෙන ජාතික දුම්රිය සේවා සමිතිය රාජ්‍ය ඇමැතිවරයකු මැදිහත්වී දෙකඩ කර ඇතැයි එහි ප්‍රධාන ලේකම් නිහාල් ගුණරත්න මහතා චෝදනා කරයි.

සාමාජිකයන් 3400ක් පමණ සිටින ජාතික දුම්රිය සේවා සමිතියේ 20 වැනි සංවත්සරය වෘත්තීය සමිති කොමසාරිස්ගේ දැනුම් දීම මත ඉකුත් ජුනි 26දා දුම්රිය මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පවත්වා එම සමුළු වාර්තාව සමඟ නව නිලධාරි මණ්ඩලයේ නාම ලේඛනයද වෘත්තීය සමිති කොමසාරිස්වරයා වෙත යාවත්කාලීන කිරීම සඳහා යවන ලද බවද හෙතෙම පවසයි.


රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලදැයි කියන විරෝධතාවක් හේතුවෙන් මෙම සමිතිය යාවත්කාලීන කළ නොහැකි බවත් එය ඉවත් කර ගන්නා තුරු යාවත්කාලීන කළ නොහැකි බවත් වෘත්තීය සමිති කොමසාරිස්වරයා තමන්ට දැන්වූ බවද ඒ අනුව සමිතියේ බැංකු ගිණුම් පවා අත්හිටුවා ඇති බවද හෙතෙම සඳහන් කරයි.


තමන් රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ භාණ්ඩාගාරික ධුරය දරද්දීත් එය වසර හයක කාලයක් අක්‍රියව පවතින සම්මේලනයක් බවට වෘත්තීය සමිති කොමසාරිස්වරයා දන්වා එවූ ලිපිය පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානයට යොමු කිරීම හේතුවෙන් උරණ වූ එම සම්මේලනයේ සභාපතිවරයා වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ තම පිරිසක් යොදාගෙන සාමාජික ඡන්ද බලයෙන් පත්වූ මෙම සමිතිය කඩාකප්පල් කිරීමට කටයුතු යොදා ඇති නමුත් සියයට 90ක් වූ බහුතරයක් තමන් සමඟ සිටින බවත් ගුණරත්න මහතා පෙන්වා දෙයි.


තමන් රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ භාණ්ඩාගාරික ධුරයෙන් ඉවත් කර ජාතික දුම්රිය සේවා සමිතියේ ලේකම් ධුරයේ කටයුතු කිරීමද තාවකාලිකව අත්හිටුවා ඇති බව රාජ්‍ය ඇමැතිවරයා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වෙත ලිපියකින් දන්වා ඇතත්, සාමාජික ඡන්දයෙන් පත්වූ තමන් එසේ ඉවත් කිරීමට නොහැකි බව වෘත්තීය සමිති කොමසාරිස්වරයා දැන්වීම හේතුවෙන් රාජ්‍ය ඇමැතිවරයාට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ නඩුවක් ගොනුකළ බවද හෙතෙම සඳහන් කළේය.


සියයට 10කටත් අඩු සාමාජිකත්වය සමඟ මෙම සමිතිය තමන්ට නතු කර ගැනීමට රාජ්‍ය ඇමැතිවරයා උත්සාහ ගත්තද, සියයට 90ක් වූ සාමාජිකත්වය සමඟ තම සමිතිය යාවත්කාලීන කිරීමට ඉඩ නොදෙන්නේ නම් ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට සමිතියේ බහුතරය තීරණය කර ඇතැයිද ගුණරත්න මහතා පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon