අධිකරණ නියෝගය කඩ කළ ව්‍යාපාරිකයකුට අත්හිටුවූ සිර දඬුවමක්

  👤  3134 readers have read this article !
By mawbima 2018-08-14

අනුරාධපුර - ආනන්ද කරුණාදාස


බලහත්කාරයෙන් නීති විරෝධීව අත්පත් කරගෙන සිටි රජයේ ඉඩමකින් ඉවත් වන ලෙසට අධිකරණය ලබාදුන් නියෝගයක් කඩකර අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරදකරු වූ ව්‍යාපාරිකයකුට වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළ අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හේමන්ත පුෂ්ප කුමාර මහතා එම සිර දඬුවම වසර 5කට අත්හිටුවීමට නියෝග කළේය.


බලහත්කාරයෙන් අත්පත් කරගෙන නීති විරෝධීව රැඳී සිටින රජයට අයත් අදාළ ඉඩමෙන් වහාම ඉවත් වන ලෙසටද විත්තිකරුට නියෝග කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා එම ඉඩම තුළ සිදුකර ඇති සියලු ඉදිකිරිම්ද ඉවත් කර ගන්නා ලෙස තවදුරටත් නියෝග කළේය.


මෙසේ සිර දඬුවම් නියම වූයේ විලච්චිය පේමඩුව පදිංචි කරුවෙකුටය. විලච්චිය පේමඩුවේ පිහිටි පර්චස් 20ක රජයේ ඉඩමක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන එහි අනවසර ඉදිකිරීමක් කළ බවට මෙම විත්තිකරුට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා එල්ල වී තිබූ අතර ඔහු ඊට වරදකරු විය.


පසුව අධිකරණය ඔහුට නියෝග කළේ රජයට අයත් අදාළ ඉඩමෙන් වහාම ඉවත්ව එම ඉඩමේ භුක්තිය විලච්චිය ප්‍රාදේශීය ලේකම්වරයා මඟින් රජයට භාර දෙන ලෙසයි.
එලෙස අධිකරණය ලබාදුන් නියෝගය බරපතළ ලෙස කඩකර අධිකරණයටද අපහාස කරමින් විත්තිකරු තවදුරටත් අදාළ ඉඩමේ බලහත්කාරයෙන් රැඳී සිටින බව පවසමින් විලච්චිය ප්‍රාදේශීය ලේකම් ජී.ආර්. තිලකරත්න මහතා අනුරාධපුර මහෙස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කළේය.


පසුව විත්තිකරු අධිකරණයට කැඳවා ඔහු අපහාස කර ඇති බවට නිගමනය කරමින් මහෙස්ත්‍රාත්වරයා ඔහුට මෙලෙස සිර දඬුවම් නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් විලච්චිය ප්‍රාදේශීය ලේකම් ජී.ආර්. තිලකරත්න මහතාගේ උපදෙස් මත අනුරාධපුර, මාතලේ සහ කුරුණෑගල කලාප භාර ඉඩම් නිලධාරි සිරිවර්ධන මාකඳුර මහතා පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් නීතිඥ නලීන් දිමුතු බණ්ඩාර මහතා පෙනී සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon