තීරුබදු රහිත වාහන බලපත්‍රයක් ගැනීමේ සිද්ධියේ විමර්ශන ලබන සතියේ අවසන්

  👤  3216 readers have read this article !
By mawbima 2018-08-14

අනුරාධපුර - ආනන්ද කරුණාදාස


උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ගණකාධිකාරිවරයා රජය මඟින් ලබා දෙන තීරු බදු රහිත වාහන බලපත්‍රයක් වංචනික ලෙස ලබාගෙන එය රුපියල් ලක්ෂ 40කට අලෙවි කර ඇති බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ අනුරාධපුර විගණන අධිකාරිවරයා විසින් සිදුකළ විශේෂ විමර්ශනය ලබන සතිය වන විට අවසන් කර එම වාර්තාව උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයාට, පළාත් ප්‍රධාන ලේකම්වරයාට සහ පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම්වරයාට භාරදීමට නියමිතය.


මෙම තීරුබදු රහිත රජයේ වාහන බලපත්‍රය නිකුත් කර ඇත්තේ උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ඇතැම් ලිපි ලේඛනවල සඳහන් නිවැරැදි කරුණු ටිපෙක්ස් යොදා කූට ලෙස වෙනස් කිරීමෙන් බවද සිද්ධිය පිළිබඳව අනුරාධපුර විගණන අධිකාරිවරයා සිදුකළ මූලික විගණන විමර්ශනයේදී අනාවරණය වී ඇත. 2012 වසරේ අනුරාධපුර ඔයාමඩුවේදී පැවැති දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනයට සමගාමීව අනුරාධපුර - අරිප්පු මාර්ගයේ කිලෝමීටර් 3ක් කාපට් අතුරා අලුත්වැඩියා කිරීමේදී සිදුවූ මහ පරිමාණ මූල්‍ය වංචාවක් සහ මැදවච්චිය- ඇතාකඩ මාර්ගයේ අලුත්වැඩියා නොකළ කොටසක් වෙනුවෙන් රුපියල් කෝටි 2 1/2ක් ගෙවීමේ සිද්ධියකට අදාළ මුදල් වංචාවකට මෙම ගණකාධිකාරිවරයා වැඩ තහනමට ලක්වූවෙකි.


එලෙස ඔහු වැඩ තහනමට ලක් කළේ එවකට උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරිවරයාව සිටි සිංහ බණ්ඩාර මහතා විසිනි. එම වැඩ තහනම අභියෝගයකට ලක් කරමින් ගණකාධිකාරිවරයා විසින් උතුරු මැද පළාත් බද මහාධිකරණය හමුවේ නඩුවක් පැවැරූ අතර එම නඩුවද විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කෙරිණි. සිංහ බණ්ඩාර මහතාගෙන් පසුව උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරිවරයා ලෙස පත්වූ බන්දුල කුමාරසිරි මහතා විසින් වැඩ තහනමට ලක්ව සිටි මෙම ගණකාධිකාරිවරයාට එරෙහිව පැවැති විනය පරීක්ෂණය අත්හිටුවා ඇත.

මේ අතර තම සේවය අත්හිටුවීම අභියෝගයකට ලක්කරමින් ගණකාධිකාරිවරයා විසින් උතුරු මැද පළාත්බද මහාධිකරණයේ පැවැරූ නඩුව විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කර තිබියදී නැවත ඔහු සේවයේ පිහිටුවා ඇත්තේ එවකට උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස සේවය කළ අනෝමා මානෙල් මහත්මිය විසිනි.

මූල්‍ය වංචාවකට අදාළව වැඩතහනමට ලක්ව සිටින නිලධාරියකුට එරෙහිව පවතින විනය පරීක්ෂණයක් අත්හිටුවීමට උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරිවරයකුට කිසිදු බලයක් නැති බව ද උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉන්ජිනේරුවරු පවසති. මෙලෙස වංචනික ක්‍රියාවකට අදාළව වැඩ තහනමකට ලක්වූ නිලධාරියකුට තීරුබදු රහිත රජයේ වාහන බලපත්‍රයක් නිකුත් කිරීමට පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරිවරයාට කිසිදු නීතිමය අයිතියක් නැති බව පෙන්වා දෙන උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉන්ජිනේරුවරු වංචනික ලෙස නීති විරෝධීව මෙම වාහන බලපත්‍රය නිකුත් කර තිබෙන්නේ උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ වත්මන් සාමාන්‍යාධිකාරි ආනන්ද වලිසුන්දර මහතා විසින් බවටද චෝදනා කරති.


වංචනික ලෙස රජයේ තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබා ගෙන එම වාහන බලපත්‍රය රුපියල් ලක්‍ෂ 40කට අලෙවි කළ බවට චෝදනා එල්ල වී ඇති උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ගණකාධිකාරි ජී.එම්.ජී.එන්.බී. ගුණරත්න මහතාගෙන් මේ පිළිබඳව මීට පෙර දුරකථනයෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කළේ එය තමාගේ පෞද්ගලික ප්‍රශ්නයක් බවත් ඒ පිළිබඳව තමාගෙන් නොවිමසන ලෙසය. තීරුබදු රහිත රජයේ වාහන බලපත්‍රයක් ලබා ගැනීම පෞද්ගලික කාරණයක් වන්නේ කෙසේදැයි විමසූ විට ගණකාධිකාරිවරයා ඊට පැහැදිලි පිළිතුරක් ලබා නොදෙමින් සඳහන් කළේ දුරකථනයෙන් මේ පිළිබඳව කතා කළ නොහැති බවත් අවශ්‍ය නම් පැමිණ හමුවන ලෙසත්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon