රංගන ශිල්පිනියගෙන් රු. ලක්‍ෂ 10ක් වංචා කළ චිත්‍රපට අධ්‍යක්‍ෂ අත්අඩංගුවට

  👤  3200 readers have read this article !
By mawbima 2018-08-14

කොළඹ - එම්.සී.පෙරේරා


සුඛෝපභෝගී මෝටර් රථයක් ආනයනය කර දෙන බව පවසා රංගන ශිල්පිනි ඇන්ඩලින් රොෂානා ඔන්ඩච්චි ගෙන් රුපියල් ලක්‍ෂ දහයක මුදලක් වංචා කළ බව කියන චිත්‍රපට අධ්‍යක්‍ෂ අතුල ඉද්දමල්ගොඩ නමැත්තා ඊයේ (13දා) අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය කියයි.


රුපියල් ලක්‍ෂ දහයක මුදලක් වංචා කළ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයාට විරුද්ධව මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශයට 2017 ඔක්තෝබර් 28 වැනි දින කරන ලද පැමිණිල්ලට සාධාරණයක් ඉටු නොවූ බව පවසමින් රංගන ශිල්පිනිය බස්නාහිර පළාත් දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ මහතාට පැමිණිලි කර තිබිණි.
නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ලද නියෝග අනුව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මඟින් සිදුකළ පරීක්‍ෂණවලින් අනතුරුව සැකකාර චිත්‍රපට අධ්‍යක්‍ෂවරයා කොහුවල ඔහුගේ කාර්යාලයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් සැරයන් මෙන්ඩිස් (20553) මහතා පැවැසීය.


මාස තුනක් ඇතුළත විදේශ රටකින් මෝටර් රථයක් ආනයනය කර දෙන පැවැසූ අධ්‍යක්‍ෂවරයාට 2016.09.21 දින එකී මුදල ලබා දුන් බව රංගන ශිල්පිනිය විසින් කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.


එම මෝටර් රථය ලබා දෙන තෙක් බව පවසමින් අධ්‍යක්‍ෂවරයා තමන්ගේ පරිහරණය සඳහා පාවිච්චි කරන ලද වෙනත් මෝටර් රථයක් ලබාදුන් බව ද ඇයගේ පැමිණිල්ලේ සඳහන් වේ. මාස තුනක් ගත වූ පසුව ද ආනයනය කර ලබාදෙන බව කියූ මෝටර් රථය ලබා නොදී පරිහරණය සඳහා ලබා දුන් මෝටර් රථය බලහත්කාරයෙන් රැගෙන යෑමට උත්සාහ කළ බව රංගන ශිල්පිනිය පොලිසියට දුන් ප්‍රකාශයේ සඳහන් වේ.


2017.02.17 දින සැකකාර චිත්‍රපට අධ්‍යක්‍ෂවරයාගේ හිතවතකු පැමිණ එම මෝටර් රථය තමාගේ භාරයෙන් රැගෙන ගිය බවද රංගන ශිල්පිනිය පවසා ඇත.
තමන්ගෙන් ලබාගත් රුපියල් ලක්‍ෂ දහය වෙනුවට බොරැල්ලේ රාජ්‍ය බැංකුවකට අයත් ගිණුමකින් මුදල් ලබා ගන්නා ලෙස දන්වමින් එම මුදලට සරිලන සේ 2017.06.22 දින ලබාදුන් චෙක්පත් අගරු චෙක්පත් බව අනාවරණය වූ බවද ඇයගේ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව පොලිසිය කියයි.


රංගන ශිල්පිනිය නියෝජ්‍ය පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ල අනුව බැංකු වාර්තා ලබා ගැනීමට කටයුතු කළ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාර චිත්‍රපට අධ්‍යක්‍ෂවරයා වැඩිදුර විමර්ශන කර අද (14දා) නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශයට භාර දී ඇත.


බස්නාහිර දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ, නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප්‍රසාද් රණසිංහ මහත්වරුන්ගේ උපදෙස් මත මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ජයන්ත පෙරේරා, පොලිස් සැරයන් මෙන්ඩිස් (20553) පොලිස් කොස්තාපල්වරුන් ප්‍රසන්න (40248), කුමාර (84762) බණ්ඩාර (51496) මහත්වරු පරීක්‍ෂණ පවත්වති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon