යුද ජය විකුණන් කාපු කට්ටිය දැන් බෝසත්වරුන් වෙලා

  👤  3137 readers have read this article !
By mawbima 2018-08-14

ඉදිරියේදීත් බිහි වෙන්නේ යහපාලන ජනාධිපතිවරයකු සහිත යහපාලන ආණ්ඩුවක් වන අතර 2025 දක්වා පවතින්නේ යහපාලන ආණ්ඩුවක් යැයිද නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස ගාල්ලේදී පැවැසීය.


ඒ මහතා එසේ පැවැසුවේ පසුගියදා අක්මීමණ, වලහන්දුව වත්තේ ඉදිවුණු සියපතගම උදාකළ ගම්මානය විවෘත කිරීමේ උත්සවයට එක් වෙමිනි.
මෙහිදී අමාත්‍යවරයා මෙසේද පැවැසීය.


අද ජනාධිපතිවරයාගේ ග්‍රාම ශක්ති වැඩසටහන ශක්තිමත්ව ක්‍රියාත්මක වෙනවා. මංගල සමරවීර මහතාගේ ගම්පෙරළිය වැඩසටහන් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන් ශක්තිමත්ව කෙරීගෙන යනවා.


ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතාගේ රැකියා දස ලක්ෂයේ වැඩසටහන් අද ආරම්භ කරමින් පවතිනවා. ඒ වගේම ගම් උදාව වැඩසටහන තුළ ගම්මාන ඉදිකිරීමත්. සැමට සෙවණ සැපයීමත් කෙරීගෙන යනවා. ඉතින් ඔබ හොඳින් සිතා බලන්න. මේ අපි ක්‍රියාත්මක කරන්නේ ගම්පෙරළියයි. 2015ට කලින් ක්‍රියාත්මක වුණේ රජ පවුලේ පෙරළියයි. අද ක්‍රියාත්මක වෙන්නේ ග්‍රාම ශක්තිය. එදා ක්‍රියාත්මක වුණේ ග්‍රාම ශක්තියත් ජනතා ශක්තියත් නොවන රජ පවුලේ ශක්තියයි.


අද ගම්උදාව ක්‍රියාත්මක වෙද්දී එදා රජ පවුලේ උදාවයි සිදුවුණේ. මේක තමයි ඇත්ත. යුද්ධය දින්නා විතරයි එම ජයග්‍රහණය ආයුධයක් කරගෙන ඩොලර් කුට්ටි පිටින් සොයා ගත්තා. පවුම්වලින් සොරා කෑවා. දුසිම් ගණන් මේ රටේ ජාතික සම්පත සූරා කෑවා.


ඒත් දැන් පෙනී සිටින්නේ බෝධිසත්වයෝ වගේ. හිටි හැටියේම සෝවාන් සකෘදාගාමී අරහත් භාවය ගන්න වගෙයි හැසිරෙන්නේ. ඒ අය කියනවා මට විතරයි රට බේරාගන්න පුළුවන් කියලා.


ඒ රජ පවුලේ ඇතුළේ කචල්. ඒ වෙන මොනවාටවත් නෙවෙයි ආපසු ජනාධිපති පුටුවට යන්න තියෙන පෙරේතකමට. ඒත් අපි ළඟ කචල් බචල් නැහැ. අපි හැමදේම කරන්නේ ජනතාව වෙනුවෙන්.


නිකමටවත් මේ කවුරු හරි අහලා තියෙනවද අපේ අගමැතිතුමාගේ පවුල් සංස්ථාවේ කෙනෙක් ජනපති, අගමැති කරන්න සැරසෙනවා කියලා. නෑ. එහෙම දෙයක් කවදාවත් වෙලා නෑ.


අද රටට අවශ්‍ය පිරිසුදු නායකත්වයක්. නිරහංකාර නායකත්වයක්. මේ රට ගොඩනඟන්න පිරිසුදු චේතනාවක් තියෙන නායකත්වයක්. නිකමටවත් අපේ ජනාධිපතිවරයා ඊළඟට ජනාධිපති පුටුවට එන්නට තමන්ගේ පුතාව හෝ දුවව ලෑස්ති කරනවා කියලා නිකමටවත් අහලා තියෙනවාද. නෑ නෑනේ.


මම සතුටින් කියන්න කැමැතියි ජනපති, අගමැති කිව්වා වගේම ජනතාව වෙනුවෙන් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයෙන් ඒ මහජන යුතුකම හරියට ඉටු කරනවයි කියලා. දැන් බොහෝ දෙනා ලොකුවට කතා කරනවා ඉදිරියට ජනාධිපතිවරණය එනවා. මොනවද වෙන්නේ මොනවද තියෙන සැලසුම්. මොනවද වැඩපිළිවෙළවල්. මම කවදාවත් තමුන්නාන්සේලාට කියන්නේ නැහැනේ 2020 ජනවාරි 1දාට උදා ගම්මාන 5000ක් හදනවා කියලා. හදන වැඩසටහන පටන් ගන්නවා කියලා.


ඊළඟට උදා ගම්මාන දස දහසේ වැඩසටහන ක්‍රියාත්මක කරනවයි කියලා. මම එහෙම කියන්නේ නෑනේ යහපාලන ආණ්ඩුව 2025 වනතුරු ඉන්නවා කියන බලාපොරොත්තුව නැතුව. ඒ නිසා මම තමුන්නාන්සේලාට කියන්න කැමැතියි ඔය ජනාධිපතිවරණවලට තමුන්නාන්සේලා සැලෙන්න එපා. තමුන්නාන්සේලා සියලු දෙනා ගම් උදාවත් සමඟ ග්‍රාම ශක්තියත් සමඟ ගම්පෙරළියත් සමඟ ඔප්පු දස ලක්ෂයත් සමඟ මේ සියලු සංවර්ධන වැඩසටහන් සමඟ එකතු වෙලා වැඩ කරන කොට ඉදිරියටත් බිහි වන්නේ යහපාලන ජනාධිපතිවරයෙක් හා යහපාලනයේ ආණ්ඩුවක්.


මාපලගම - රසික සෙනවිරත්න, රත්ගම - ගුණපාල ඉරත්නවල්ලි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon