මේ රටේ සිටින දේශපාලනඥයන් අතරින් ජනතාව වෙනුවෙන් වැඩකරන්නේ අතළොස්සයි

  👤  3144 readers have read this article !
By mawbima 2018-08-14

අද මේ රටේ සිටින දේශපාලනඥයන් අතරින් දූෂණයෙන් වංචාවෙන් තොරව ජනතාව වෙනුවෙන් සිය වගකීම් ඉටු කරන්නේ ඉතාම අතළොස්සක්. මේ දූෂිතයන්ගේ ඉලක්කය වී තිබෙන්නේ කීයක් හරි සොයාගෙන තම සාක්කු පුරවා ගන්නයි. නමුත් ගුණවර්ධන චරිතය දේශපාලනය තුළ දූෂිත නැහැ. එතුමා දූෂණය පිටු දැකපු කෙනෙක්. ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න එතුමා ජීවිතය කැප කරපු කෙනෙක් විදියට මම දකිනවා යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිකුරාදා (10දා) කන්තලේදී ප්‍රකාශ කෙළේය.


රුපියල් කෝටි 8කට ආසන්න මුදලක් වැය කොට කන්තලේ නගරයේ ඉදිකරන ලද නව නගර ශාලාව එම්.කේ. ඒ.ඩී එස්. ගුණවර්ධන නගර ශාලාව නමින් විවෘත කරමින් ජනාධිපතිවරයා එලෙස සඳහන් කර සිටියේය. එම පරිශ්‍රය තුළ ඉදිකර තිබූ ගුණවර්ධන මහතාගේ පිළිරුවක්ද එතුමා අතින් නිරාවරණය විය. උත්සව සභාව ඇමැතූ ජනාධිපතිවරයා මෙසේද පැවැසීය. 2014 නොවැම්බර් 01 වැනිදා ආණ්ඩුවෙන් මම ඉවත් වෙලා පොදු අපේක්ෂකයා වෙන්න එළියට එනකන් සෙවණැල්ලක් වාගේ ගුණවර්ධන මහතා, දුමින්ද වගේ කිහිප දෙනෙක්ම මා සමඟ හිටියා.


ඔහු දේශපාලන ජීවිතයේ මෙන්ම පෞද්ගලික ජීවිතයේත් අවංක පුද්ගලයෙක්. එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡ ක්‍රියා නිසා දුක් වින්ද කෙනෙක්. ආණ්ඩුව සමඟ ආරක්ෂක අංශ සමඟ විවිධ ජයග්‍රහණ ළඟා කර ගන්න සහයෝගය ලබා දුන් කෙනෙක්. පීඩාවට පත්වුණ ජනතාවට සහන සැලැසුවා. දක්ෂ කථිකයෙක් විදියට හඬනඟා කතා කළ සැබෑ ලංකා පුත්‍රයෙක්.


එතුමා දේශපාලනයේ දූෂිතයෙක් නෙවෙයි. අවංක කෙනෙක්. දූෂණය පිටුදැකපු කෙනෙක්. මුදල් පොදි ගහන්න ඔහු ආවේ නැහැ. ගුණවර්ධන චරිතය තුළ ඒකට සාක්ෂි සටහන් තියෙනවා. ජීවත්වුණු පරිසරය තුළ මහා විශාල ගෙවල් ‍ෙදාරවල් වතුපිටි තිබුණේ නැහැ. අද එතුමා සිහි කරමින් මේ ප්‍රතිමාව විවෘත කිරීමට ලැබීම සතුටක්.


ත්‍රිකුණාමලය, පොළොන්නරුව, අනුරාධපුරය අතරේ කිසිදු වෙනසක් නැහැ. එකම ජීවන රටාවක් කාලගුණික, දේශගුණික, වෙනසක් නැහැ. ජීවන සටනක යෙදෙන අය ඉන්නේ. ත්‍රිකුණාමලය ප්‍රධාන වශයෙන් සංවර්ධන තත්ත්වය ගැන සතුටු විය නොහැකියි. මේ නිසා 2016දී ජනාධිපති ලේකම් කාර්යාලයේ වෙනම සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කළා කෝටි 500ක වෙන් කරලා. වැව් සංවර්ධනය පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතියට සමගාමීව. මේ වන විට වැව් 40ක් පමණ පිළිසකර කර අවසන් බව දැනගන්න ලැබුණා.


අද ගම්මාන 10ක හෝ 11ක පිරිසුදු පානීය ජලය ව්‍යාපෘති විවෘත කළා. නාවික හමුදාව මේ කටයුතු කළේ. රට පුරාම ජල පෙරන යන්ත්‍ර නාවික හමුදාව හදනවා. පිරිසුදු පානීය ජලය නොමැති ගම්මානවලට මේ පහසුකම් ලබා දෙනවා. අනුරාධපුරය, ත්‍රිකුණාමලය, පොළොන්නරුව ජල ප්‍රශ්නය දීර්ඝ කාලීනයි. ජලය බෙදා ගන්න කවුඩුල්ලට වතුර එන හොරොව්ව ගිහිල්ල කඩනවා. බැන ගන්නවා. ගහගන්නවා. දීර්ඝ කාලීන ප්‍රශ්නයක්. මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ යම් යම් ප්‍රමාණයකට විසඳුණා.

නමුත් සම්පූර්ණයෙන්ම විසඳුණේ නැහැ. මේ නිසා මොරගහකන්ද ජලාශය ආරම්භ කළා. මහනුවරට, මාතලේට වහිනවා නම් මෙහේට වතුර එනවා. ලබන මැයිවලින් පස්සේ එන මෝසම් වැසිත් එක්ක නිසි ප්‍රතිඵල ගන්න පුළුවන් පළමු අවස්ථාව තමයි උදාවෙන්නේ. ත්‍රිකුණාමලය නගරයට මෙයින්ම පානීය ජලය ලබා දෙන්නත් ඉදිරියේදී පුළුවන්.
වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා


එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මැතිතුමා මගේ පියාත් වර්තමාන ජනාධිපතිතුමාත් එකට වැඩ කරපු අය. මේ මිත්‍රත්වයත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ඕනෑම කැපවීමක් කළා. එතුමා දරුවෝ, මුනුපුරෝ, මිනිපිරියෝ සියල්ලෝම අමතක කරලා මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට ශක්තියක් වෙලා ඉදිරියට ආවා. අපි දෙන්නාට ඒ හයිය තිබුණා. එතුමා අපට දැක්වූ සහයෝගය වෙනුවෙන් එම පවුලේ අය අප අත්හැරියේ නැහැ. එතුමාගේ පුතා වෙනුවෙන් අප සහයෝගය දෙනවා.
කන්තලේ - ඩබ්ලිව්. එම්. වික්‍රමසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon