බෞද්ධ දස සීලමාතා අධ්‍යාපන ආයතන නීතිගත කිරීම සඳහා අනුමැතිය ලබා ගත්තා

  👤  685 readers have read this article !
By mawbima 2018-08-10

උදයන්ති මුණසිංහ

බෞද්ධ දස සීල මාතා අධ්‍යාපන ආයතන නීතිගත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කොට අනුමැතිය ලබාගත් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සඳහන් කරයි.

දස සීල මාතා අධ්‍යාපන ආයතන, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචි කර ඒවා නීතිගත කිරීමට සහ එම පිරිවෙන් සංවර්ධනය කිරීමට කටයුතු කළ බවත්, එහිදී එම ආයතනවල ගුරුවරුන් සඳහා වැටුප් ඇතුළු අනෙකුත් සියලු වරප්‍රසාද ලබා දීමටද අනුමැතිය ලබාගත් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

දිවයින පුරා දසසිල් මාතාවන් 4,000කට අධික ප්‍රමාණයක් සිටින නමුත් ඔවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පවත්වාගෙන ගිය සීලමාතා පිරිවෙන් ආයතන වෙනුවෙන් මෙතෙක් රජයෙන් කිසිදු ආධාරයක් ලබා නොදුන් අතර එම ආයතන නීතිගත නොකර තිබුණු බවද ඔහු පෙන්වා දුන්නේය.

මෙම අධ්‍යාපනික ආයතන නීත්‍යනුකූල ආයතනික ව්‍යුහයක් තුළ ස්ථාපිත කිරීම මෙරට බෞද්ධ කාන්තා අධ්‍යාපනයේ පුනර්ජීවයට හේතුවක් වන අතරම දේශීය මෙන්ම විදේශීය කාන්තාවන් අතරද බෞද්ධ දර්ශනය ප්‍රචලිත කිරීමට අවස්ථාවක් වන බවද සඳහන් කළ අමාත්‍යවරයා තවදුරටත් පැවැසුවේ අධ්‍යාපනය ලැබීමට ඇති අයිතියට ජාතිය, ආගම, කුලය මෙන්ම ස්ත්‍රී/ පුරුෂභාවය බාධාවක් නොවිය යුතු බවයි.

නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ පූජ්‍ය කිරම විමලජෝති හිමියන්ගේ ආරාධනයෙන්, දෙකඳුවල දහම් පුහුණු භික්ෂුණි භාවනා මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට පසුගියදා එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. 

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon