බැඳුම්කර වංචා සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි අර්ජුන් ඇලෝසියස් හා කසුන් පලිසේන 23 වැනිදා දක්වා යළි රිමාන්ඩ් භාරයට

  👤  689 readers have read this article !
By mawbima 2018-08-10

අමිල අබේරත්න

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර නිකුතුවලදී අක්‍රමිකතාවන් සිදුකර රජයට මූල්‍යමය පාඩුවක් සිදුකළැයි කියන සිද්ධිය (බැඳුම්කර වංචාව) සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කොට සිටි පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු ලෙස සැලකෙන අර්ජුන් ඇලෝසියස් එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන යන අය මේ මස 23 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (9දා) නියෝග කළාය.

සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නාය.

නීතිපතිවරයා, නියෝජනය කරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි රජයේ ජේ‍යෂ්ඨ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනෙවිය විමර්ශනවල ප්‍රගතිය ඇතුළත් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් දන්වා සිටියේ අධිකරණය දුන් නියෝගයන්ට අනුව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපතිවරයා සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමූහයට අයත් සමාගමක් වන ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම කටයුතු නොකර ඇති බවය.

අධිකරණය ලබාදුන් නියෝග අනුව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම 2016 ඔක්තෝබර් 1 වැනිදා සිට 2018 වසරේ මැයි 24 දින දක්වා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් සිදුකරන ලද සියලුම සුරැකුම්පත් (බැඳුම්කර) ගනුදෙනුවල තොරතුරු සඳහන් වාර්තාව එම සමාගමේ සභාපතිවරයා වන ජෙෆ්රි ඇලෝසියස් විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී නොමැති බවද රජයේ ජේ‍යෂ්ඨ අධිනීතිඥවරිය අධිකරණයට දන්වා සිටි අතර ඒ සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

විත්තිකාර පාර්ශ්වය වන අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන යන අය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජීවන්ත ජයතිලක මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2017 වසරේ ජූලි 6 වැනිදා දින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවා ඇති හෙයින් 2018.05.24 දක්වා සමාගම විසින් සිදුකරන ලද සුරැකුම්පත් ගනුදෙනුවල තොරතුරු ලබාදීමට හැකියාවක් නොමැති බව සහ 2016 වසරේ ඔක්තෝබර් 1 වැනිදා සිට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ව්‍යාපාර කටයුතු අත්හිටුවූ දිනය දක්වා පමණක් තොරතුරු ලබාදිය හැකි බවයි.

ඒ පිළිබඳව සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු තහනම් කිරීමට පෙර සිදුකරන ලද සියලුම සුරැකුම්පත් ගනුදෙනුවල වාර්තා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසට සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස්ගේ පියා වන ජෙෆ්රි ඇලෝසියස් යන අයට නියෝග කර සිටියාය.

පර්පවුවල් ට්‍රෙෂරීස් සමාගම ඇතුළු ඊට අනුබද්ධ සමාගම් වන පර්පචුවල් ඇසෙට් මැනේජ්මන්ට්, පර්පචුවල් කැපිටල්ස්, පර්පචුවල් කැපිටල්ස් හෝල්ඩින්ග්ස්, ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් යන සමාගම්වල විගණනය කරන ලද සහ විගණනය නොකරන ලද මූල්‍ය වාර්තා, මුදල් හා බැංකු පොත්වල මෘදු පිටපත්, ජෙෆ්රි ඇලෝසියස් යන අය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී නොමැති බවද රජයේ අධිනීතිඥවරිය අධිකරණයට දන්වා සිටි අතර එය සලකා බැලීමෙන් අනතුරුව අදාළ මූල්‍ය වාර්තා මුදල් හා බැංකු පොත්වල මෘදු පිටපත්, අගෝස්තු 30 වැනිදාට හෝ ඊට ප්‍රථම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස මහෙස්ත්‍රාත්වරිය ජෙෆ්රි ඇලෝසියස් යන අයට නියෝග කර සිටියාය.

ඊට අමතරව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම, පර්පචුවල් ඇසට් මැනේජ්මන්ට්, පර්පචුවෙල් කැපිටල්ස්, පර්පචුවල් කැපිටල් හෝල්ඩින්ග්ස්, ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් යන සමාගම්වල බැංකු ගිණුම් විස්තර වාර්තාවන් මේ මස 27 වැනි දිනට හෝ ඊට ප්‍රථම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙසට ලංකා බැංකුව, හැටන් නැෂනල් බැංකුව, ඩී.එෆ්.සී.සී. බැංකුව ඇතුළු මෙරට බැංකු 15කට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම සතු බැඳුම්කර සිද්ධියට අදාළ නොමැති මහ බැංකුව විසින් අත්හිටුවා ඇති වත්කම් මුදාහරින ලෙසට නියෝගයන් නිකුත් කරන ලෙසට විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණයෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබූ අතර ඒ පිළිබඳ පරීක්ෂා කර බලා ඒ සම්බන්ධව නීතිපතිවරයා විසින් ලිඛිත කරුණු ඉදිරිපත් කිරීමක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඒ පිළිබඳ ඉදිරි නඩු දිනයේදී නියෝගයක් නිකුත් කරන බව දන්වා සිටියාය.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම මඟින් සිදුකරන ලද බැඳුම්කර ගනුදෙනුවල විස්තර ඇතුළත් හඬපට 4ක් වෙනස් කර, විකෘති කර මහ බැංකු බැඳුම්කර ගනුදෙනු විමර්ශනය කිරීම, පරීක්ෂා කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිසමට ලබාදීමට කටයුතු කළේ යැයි කියන චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවරා ඇති නඩුව සම්බන්ධයෙන්ද පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු ලෙස සැලකෙන අර්ජුන් ඇලෝසියස්, එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන යන අය මේ මස 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබිණි.

අදාළ හඬ පට පරීක්ෂා කර බලා අධිකරණයට ඉදිරිපත් කිරීමට මහෙස්ත්‍රාත්වරිය රජයේ රස පරීක්ෂකවරයාට නියෝගයක්ද නිකුත් කළාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon