චන්දිමාල් යළිත් විස්සයි-20 සංචිතයට වැන්ඩර්සේත් නම් කරයි මාලිංග නැහැ

  👤  2846 readers have read this article !
By mawbima 2018-08-10

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් තරග සංචාරයට ඇතුළත් එකම විස්සයි-20 තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත්කර ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ඇන්ජිලෝ මැතිව්ස්ට හිමිවී තිබේ.

ආබාධයකට ලක්වීම හේතුවෙන් පසුගිය නිදහස් කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියද අහිමි වූ මැතිව්ස්ට මෙම තරගයට වරම් හිමි වුවද ලසිත් මාලිංග මෙම සංචිතයටද ඇතුළත්ව නොතිබීම විශේෂත්වයකි.

කෙසේ වෙතත් කොදෙව් ටෙස්ට් තරගාවලියේදී පන්දුව පලුදු කිරීමේ වරදක් හේතුවෙන් තහනමකට ලක්ව දකුණු අප්‍රිකා එක්දින තරගාවලිය අහිමි වූ ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්ද මෙම සංචිතයට ඇතුළත් කර ඇති අතර 2015 වසරේදී පාකිස්තානයට එරෙහිව විස්සයි-20 තරග 2ක් පමණක් ක්‍රීඩා කර ඇති බිනුර ප්‍රනාන්දුද මෙම සංචිතයට ඇතුළත් කර ඇත. තවද පසුගිය බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේදීම විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් වසරක අත්හිටුවූ තරග තහනමක් පමුණුවන ලද ජෙෆ්රි වැන්ඩර්සේද මෙම සංචිතයට ඇතුළත්ය. මෙම විස්සයි-20 තරගය අගෝස්තු 14 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා සංචිතය -
ඇන්ජිලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල්, අකිල ධනංජය, ධනංජය ද සිල්වා, බිනුර ප්‍රනාන්දු, ෂෙහාන් ජයසූරිය, ළහිරු කුමාර, ශෙහාන් මධුශංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, තිසර පෙරේරා, ලක්ෂාන් සඳකැන්, දසුන් ශානක, උපුල් තරංග, ජෙෆ්රි වැන්ඩර්සේ
අතිරේක ක්‍රීඩකයන් _
දිමුත් කරුණාරත්න, ඉසුරු උදාන, නිරෝෂන් දික්වැල්ල, කසුන් රාජිත

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon