ප්‍රබල දේශපාලන නායකයෝ තිදෙනෙක් රහසේ මහින්ද හමුවෙති

  👤  3241 readers have read this article !
By mawbima 2018-08-10

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

"දැන් ඉන්න ඇමැතිතුමයි, හිටපු ඇමැතිතුමයි රීති ප්‍රශ්න දිගටම මතුකරමින් බාධා කළොත් මං මේ සභාවේ කටයුතු කරගෙන යන්නේ කොහොමද? මෙහෙම ප්‍රශ්න ඇදගෙන දිගටම වැඩකරගෙන යන්න බැහැ" කියමින් කරු ජයසූරිය කථානායකවරයා දැඩි උත්සාහයක් ගත්තේ ආණ්ඩු පක්ෂයේ හා විරුද්ධ පක්ෂයේ ප්‍රබල දේශපාලනඥයන් දෙදෙනකුගේ වාග් සංග්‍රාමය නතර කර ගැනීමටය.

මෙම දේශපාලනඥයන් දෙදෙනා වූයේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස හා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශය. පාර්ලිමේන්තුව ඊයේ (09දා) රැස්වූයේ කරු ජයසූරිය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙනි.

සජිත් හා විමල් පැටලීමට පොට පෑදුණේ සජිත්ගේ ආරාධනයෙන් විමල් මතු කරන ලද ප්‍රශ්නයට සජිත් පිළිතුරු දීමත් සමඟය.

මෙම වාදය තවත් උණුසුම් වූයේ දෙදෙනාම එකම අමාත්‍යාංශයකට සම්බන්ධ නිසාය.

වර්තමාන ආණ්ඩුවේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා වන්නේ සජිත් ප්‍රේමදාසය.

පසුගිය ආණ්ඩුවේ හිටපු ඉදිකිරීම්, ඉන්ජිනේරු නිවාස හා පොදු පහසුකම් අමාත්‍යවරයා වූයේ විමල් වීරවංශය.

ඩග්ලස් දේවානන්දා මන්ත්‍රිවරයා උතුරේ නිවාස සම්බන්ධයෙන් මතුකරන ලද ප්‍රශ්නයකට සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා විසින් දීර්ඝ පිළිතුරක් ලබාදෙන ලදී.

ඉන්පසුව සජිත් ප්‍රේමදාස කියා සිටියේ ඕනෑම කෙනකුට ඕනෑම ප්‍රශ්නයක් තමාගෙන් ඇසිය හැකි බවයි.

විමල් වීරවංශ මන්ත්‍රිවරයා තමාගේ ඉදිරිපිට අසුන්ගෙන සිටිනු දුටු සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා විමල් වීරවංශ මන්ත්‍රිවරයාට කියා සිටියේ ඕනෑම ප්‍රශ්නයක් විමසන ලෙසයි.
එම ඉල්ලීමට අනුව විමල් වීරවංශ නැඟී සිටිමින් ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය.

"හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් දහස් ගණනක් දෛනික දීමනාවක් යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරි කාර්යාලවලට දාලා තියෙනවා. සමහරුන්ට ඉන්න තැනකුත් නැහැ. මේ අයගේ සේවය ස්ථිර කරලත් නැහැ. අනෙක් පැත්තෙන් ආයතනයට විශාල බරක් පටවලා" යනුවෙන් විමල් වීරවංශ විමසා සිටියේය.
ඊට වහාම සජිත් ප්‍රේමදාස පිළිතුරු ලබා දුන්නේය.

"ස්ථිර කාර්ය මණ්ඩලයට කිසිවකුත් බඳවාගෙන නැහැ. නමුත් මං නොකරපු දේවල් ගොඩක් තියෙනවා. ඒ ටික මං කියන්නම්" යනුවෙන් ආරම්භ කළ සජිත් ප්‍රේමදාස විසින් විමල් වීරවංශගේ ඥාතීන්ගේ නාම ලේඛනයක් කියවාගෙන ගියේය.

මෙම ඥාතීන්ට කහතුඩුව හා මත්තෙගොඩ නිවාස සංකීර්ණවලින් නිවාස ලබාදී ඇති බවට සජිත් ප්‍රේමදාස චෝදනා කළේය.

වහාම නැඟී සිටි විමල් වීරවංශ රීති ප්‍රශ්නයක් මතු කරමින් එම චෝදනාව ප්‍රතික්ෂේප කළේය.

"මගේ කිසිම ඥාතියකුට ගෙවල් ලබාදීලා නැහැ. එම ඥාතීන් ඔය ගෙවල්වල ඉන්නවයි කියලා ඔප්පු කළොත් මං මේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වෙනවා" යනුවෙන් විමල් වීරවංශ දැඩිව කියා සිටියේය.

ඊට ප්‍රතිචාර දැක්වීමට රීති ප්‍රශ්නයක් මතුකළේ සජිත් ප්‍රේමදාසය.

"මං කිව්වෙ සත්‍ය. මේ සියලුම කරුණු මං සභාගත කරනවා. හැන්සාඩ් ගත කරනවා" කියමින් සජිත් ප්‍රේමදාස ලිපි ගොනුවක් පෙන්නුවේය.

ඉන්පසුව දෙදෙනාම තරගයට මෙන් රීති ප්‍රශ්න මතු කරගනිමින් එකිනෙකාට චෝදනා කරගත් අතර මැතිසබය දැඩි ඝෝෂාකාරී තත්ත්වයක් ඇති විය.

"ඥාති සංග්‍රහය කළා. මුදල් හොරා කෑවා" කියමින් සජිත් ප්‍රේමදාස එක දිගටම චෝදනා කළේය.

මේ අවස්ථාවේදී විමල් වීරවංශ නැඟී සිටිමින් දිගින් දිගටම රීති ප්‍රශ්න මතුකළද කථානායකවරයාගෙන් ඊට අවසරය ලැබුණේ නැත.

විමල් වීරවංශ මන්ත්‍රිවරයාට රීති ප්‍රශ්නයක් මතු කිරීමට අවස්ථාවක් ලබා දෙන්න යනුවෙන් ප්‍රකාශ කරමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, වාසුදේව නානායක්කාර ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පිරිසක් නැඟිට කෑගසන්නට වූහ.

"මට පෞද්ගලික අපහාස සිදු කළා" යනුවෙන් විමල් වීරවංශ කෑගැසුවේය.

"අනවශ්‍ය වචන සියල්ල හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරනවා" යනුවෙන් කරු ජයසූරිය කථානායකවරයා ප්‍රකාශ කළේය.

යළිත් නැඟී සිටියේ විමල් වීරවංශය.

"මේ ගැන ප්‍රසිද්ධ රූපවාහිනි විවාදයකට එන ලෙස මං අභියෝග කරනවා" යනුවෙන් විමල් වීරවංශ විසින් සජිත් ප්‍රේමදාසට අභියෝගයක් එල්ල කරන ලදී.
"මං ඕනෑම විවාදයකට සූදානම්" සජිත් ප්‍රේමදාස ප්‍රතිචාර දැක්වීය.

ඥාති සංග්‍රහ, නිධන් කතා, හොර සල්ලි අච්චු ගැසීම් ගැනද මෙහිදී උණුසුම් ලෙස වචන හුවමාරු විය.

සජිත් ප්‍රේමදාස හා විමල් වීරවංශ අතර මෙම උණුසුම් වචන හුවමාරුව විනාඩි කිහිපයක් තිස්සේ පැවැතිණි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මැතිසබයට පැමිණියේ දහවල් 11.25ට පමණය. ඒ වන විට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාද මැතිසබය තුළ සිටියේය.

හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී පළාත් සභා ඡන්දය කල්තැබීම ගැන රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගෙන් විමසීමක් කළේය.

"තවත් මේ ඡන්දය කල්දාන්න හදන්න එපා. මොන ක්‍රමයකට හරි මේ ඡන්දය තියන්න" මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කියා සිටියේය.

"පළාත් සභා 6කම එකවර ඡන්දය ඉක්මනට තියනවා" යනුවෙන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ඊට ප්‍රතිචාර දැක්වීය.

පාර්ලිමේන්තුවේදී ඊයේ දින විවාදයට ගැනුණේ ස්වාධීන කොමිෂන් සභාවල සභාපතිවරුන් හා නියෝජිතයන්ට ගෙවනු ලබන දීමනා වැඩි කිරීමට අදාළ යෝජනාවක් සහ එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදයයි.

ස්වාධින පොලිස් කොමිසම හා පොලිස්පතිවරයාගේ ක්‍රියා කලාපය ගැන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මතු කරන ලද කාරණයකට සභාවේ වැඩි අවධානයක් යොමු විය.

"ස්වාධීන පොලිස් කොමිසමේ නියෝග පොලිස්පතිවරයා ක්‍රියාත්මක නොකරනවා නම් මේ ආකාරයෙන් දීමනා වැඩි කිරීම වැඩක් වෙන්නේ නැහැ නේද" යනුවෙන් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා එක් පොලිස් නිලධාරියකු උසස්වීමක් ලබා නොදීම නිසා එම නිලධාරියාට සිදුවී තිබෙන අසාධාරණය ගැන පෙන්වා දුන්නේය.
ඒ ගැන තමාගේ අවධානය යොමු කරන බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දිවා ආහාරය සඳහා මැතිසබයෙන් පිටත්වීමට සූදානම් වන විට හිටපු ජනාධිපතිවරයාට යම් පණිවුඩයක් ලැබුණේය.

එම පණිවුඩයෙන් කියැවුණේ ප්‍රබල දේශපාලන නායකයන් තිදෙනකුට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හමුවීමේ බලවත් වුවමනාවක් තිබෙන බවයි.

එම හමුව රහසිගතව පැවැත්වීමට වගබලා ගත යුතු බවද එම පණිවුඩයෙන් දන්වා තිබිණි.
හදිසි කාරණා කිහිපයක් ගැන සාකච්ඡා කළ යුතු බව එම පණිවුඩයෙන් කියැවුණු නිසා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා එම හමුවට කැමැත්ත පළ කර පණිවුඩයක් යැව්වේය.

එම හමුව සඳහා තෝරාගෙන තිබුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දෙවැනි මහලේ පිහිටි එක්තරා ආරක්ෂිත ස්ථානයකි. එම ස්ථානය කිසිවකුට පෙනෙන්නේ නැත.
දහවල් 12.15ට පමණ ආරම්භ වූ මෙම රහසිගත සාකච්ඡාව අවසන් වූයේ දහවල් 1.15ට පමණය.

පැය භාගයක් තිස්සේ පැවැති මෙම සාකච්ඡාවට සහභාගි වූ ප්‍රබල දේශපාලන නායකයන් තිදෙනාගෙන් දෙදෙනකු ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරුන් වීම තවත් විශේෂත්වයකි.

රටේ වත්මන් දේශපාලන තත්ත්වය, ඉදිරි මැතිවරණ හා තවත් වැදගත් කරුණු රැසක් මෙහිදී සාකච්ඡා වී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වැටුප් වැඩිවීම ගැන පසුගිය දිනවල විවිධ කතාබහ පැවැති අතර ඊයේ පාර්ලිමේන්තුවේදී මේ ගැන කතා කළේ ඒකාබද්ධ විපක්ෂයේ දිගාමඬුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවීර දිසානායකය.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වැටුප් වැඩි කිරීමට තමා එකඟ බව විමලවීර දිසානායක කියා සිටියේය.

තමා දිගාමඬුල්ලේ සිට කොළඹට පැමිණීමට සහ ජනතා සේවය සිදුකිරීම වෙනුවෙන් රුපියල් එක්ලක්ෂ පනස්දහසක ඉන්ධන ඇතුළු වියදමක් යන බව මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.

තමාට ඉන්ධන සඳහා ලැබෙන රුපියල් 60,000 ප්‍රමාණවත් නොවන බවත් ඉතිරි 90,000 ලබාදෙන්නේකවුද කියාත් ඔහු විමසා සිටියේය.

"හොරකම් කරපු එවුන්ට, දේපොළ තියෙන අයට, බාර් ලයිසන් තියෙන අයට ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි වගේ ගමේ ඉඳලා ආපු අහිංසක දේශපාලනඥයන් මේ පාර්ලිමේන්තු ක්‍රමයට පැමිණීම වළක්වා තනිකරම ධනවාදීන්ට පාර්ලිමේන්තුවට පැමිණීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා" යනුවෙන් විමලවීර දිසානායක මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ප්‍රතිපත්ති එක්ක එකඟ නොවුණත් හාමුදුරුවන්ට සිර දඬුවම් ලබාදීම ගැන යමක් ප්‍රකාශ කිරීමට කැමැති බව එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණාය.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නඩුව කඩිනමින් විභාග වූ බවත් කඩිනමින් විභාග විය යුතු ඇතැම් නඩු ප්‍රමාද වී තිබෙන බවත් මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.
ඔහු කියා සිටියේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නඩු තීන්දුව තමා විවේචනය නොකරන බවත් එම නඩු තීන්දුව ආණ්ඩුවට එරෙහිව පාවිච්චි කිරීමට විපක්ෂයේ ඇතැමුන් උත්සාහ ගන්නා බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon