කැබිනට් පත්‍රිකාව ඉවත දැමූ බව කියා හෙඩ්ලයින් දැම්මේ ගැටුමක් ඇති කිරීමටයි

  👤  2880 readers have read this article !
By mawbima 2018-08-10

අගමැතිවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කරයි කියලා හිතාමතා ගැටීමක් ඇති කිරීමට පත්තරවල හෙඩ් ලයින් දාලා තිබුණා. නමුත් ඇත්තටම සිදුවූයේ වෙනත් දෙයක් බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ පැවැසීය.

අමාත්‍යවරයා මේ බව පැවැසුවේ ඊයේ (9දා) ශ්‍රී ලනිප මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය. එහිදී අමාත්‍යවරයා මෙසේද පැවැසීය.

ගම්පෙරළිය වැඩසටහන කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමේදී අධීක්ෂණ කටයුතු කිරීමට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රිවරුන්ට ඒ අවස්ථාව දිය යුතුයි කියන යෝජනාව යළිත් ඉදිරිපත් වී තිබුණා. අධීක්ෂණ මන්ත්‍රිවරුන්ට මොන වගේ පහසුකම් දිය යුතුද කියලා හොයලා බලන්න නිලධාරීන් කමිටුවක් පත් කළා. ඒ නිලධාරි කමිටුවට පත්කර තිබුණේ අගමැතිතුමාගේ ලේකම්, භාණ්ඩාගාරයේ ලේකම් හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්. මේ අයගේ වාර්තා තමයි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණේ. ඒ යෝජනා ඉදිරිපත් කළේ අගමැතිතුමා නොවෙයි.

ඉදිරිපත් කරන ලද වාර්තාවේ මේ යෝජනා සම්බන්ධයෙන් මුලින්ම කතා කළ මහින්ද අමරවීර ඇමැතිතුමා මේ වෙලාවේ එවැනි පහසුකම් දීම උචිත නෑ කීවා. ජනාධිපතිතුමත් හිටියේ ඒ මතයේමයි. මේ වෙලාවේ අනුමත කරන එක ඔබින නොවන බව එතුමා පැහැදිලිව සඳහන් කළා. පසුව සාකච්ඡා කර තීරණයක් ගමු යැයි ජනාධිපතිවරයා යෝජනා කළා.

ඒ වගේම එජාපයේ පසුපෙළ මන්ත්‍රිවරුන්ට විශේෂ වරප්‍රසාද දීමට වැඩපිළිවෙළක් සකස් කළ බවට ඇතැම් පුවත්පත්වල වාර්තා පළ වී තිබුණා.

මන්ත්‍රිවරුන්ට වැටුප් වැඩි කිරීමට ගෙනා යෝජනාවේදී තිබූ ස්ථාවරයම තමයි මේ සම්බන්ධවත් ශ්‍රී ලනිපයේ ස්ථාවරය වන්නේ. මන්ත්‍රිවරුන්ගේ වැටුප් වැඩි කිරීම ගැන කතා කරන්නේ, පසුබිම නොසලකායි මාධ්‍යයේ වාර්තා පළ කර තිබුණේ. පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා විනිසුරුවරුන්ගේ වැටුප් වැඩි වෙනකොට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වැටුප ඒ හා සමාන වැඩි වෙන්න කටයුතු කළ යුතුයි කියලා. අවුරුදු ගාණකට මේක ක්‍රියාත්මක වුණේ නෑ. විනිසුරුවරුන්ගේ වැටුප් වැඩි වී තිබුණු නිසා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වැටුප් වැඩි කිරීම ගැන පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී යෝජනාවක් ඇවිත් තිබුණා. හැබැයි අද පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන නායකයන් කියා සිටින්නේ මේ වැටුප් වැඩි කිරීම අවශ්‍ය නෑ කියලා.

මේ වර්ෂය අපට නොයෙකුත් ආර්ථික අර්බුදවලට මුහුණ පාන්න වෙලා තියෙනවා ජාත්‍යන්තරයේ තිබෙන ප්‍රශ්නත් එක්ක. මිල සූත්තරය පදනම් කරගෙන පසුගිය සති කීපයේදී තෙල් මිල වැඩි වීමෙන් භාණ්ඩ මිල වැඩි වී ජීවන බර වැඩි වුණා. ජනතාවට එවැනි ප්‍රශ්න තිබෙන අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වැටුප් වැඩි කිරීම කිසිසේත්ම ගතයුතු තීරණයක් නෙවෙයි.

දුම්රිය සේවක වර්ජනය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේද කීය.

කැබිනට් මණ්ඩලය තීරණයක් ගත්තේ නෑ දුම්රිය සේවක ගැටලුව සම්බන්ධයෙන්. කැබිනට් අනු කමිටුවක් තීරණයක් අරගෙන යෝජනාවක් ඉදිරිපත් කළා වැටුප් විසමතාවක් තිබෙනවා, ඒ විසමතාව නැති කරන්න අවශ්‍යයි කියලා. අඟහරුවාදා මේ යෝජනාව ගැන පුළුල් වශයෙන් කතා කළා. එහිදී මුදල් ඇමැතිතුමා දුම්රිය දෙපාර්තමේන්තුවට පමණක් නොව තවත් ආයතන 25ක් වැටුප් විසමතා පිළිබඳ ඉල්ලීම් කර තිබෙන බව පෙන්වා දුන්නා. එහිදී එක් ආයතනයක් නොව මේ සියලු ආයතනවල ප්‍රශ්න විසඳීමට වැටුප් හා සේවා කොමිසමක් වෙනම පත් කර අධ්‍යයනය කර විසඳුමක් ගේමු කියලා.

දුම්රිය සේවක වර්ජනය වෙලාවේ ආණ්ඩුව ක්ෂණිකව ක්‍රියාත්මක වුණා. මේ ගැටලුව වෙලාවේ මගීන්ගෙන් විරෝධතාව ආවේ ආණ්ඩුවට නොව දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක සේවිකාවන්ටයි.

රසිකා හේමමාලි
ඡායාරූප - උදේෂ් රණසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon