කථානායක වැඩ කරන්නේ අගමැති කියන විදියටයි

  👤  2806 readers have read this article !
By mawbima 2018-08-10

අගමැති රනිල් වික්‍රමසිංහ විසින් කථානායකවරයා හසුරුවන බවත් ඔහු ක්‍රියාත්මක කරන්නේ අගමැතිවරයා ලබාදෙන තීන්දු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි දිළුම් අමුණුගම පැවැසීය.

ප්‍රජාතන්ත්‍රවාදයේ මරමස්ථානය වන පාර්ලිමේන්තුව ආරක්ෂා කරගැනීම රූකඩයකට කළ නොහැකි බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

ඊයේ (09දා) බොරැල්ල ආචාර්ය එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.

මේ ආණ්ඩුව තිබිලා වැඩක් නෑ. ජනාධිපතිවරයා කියන දේ කැබිනට් එක ක්‍රියාත්මක කරන්නේ නැහැ. කැබිනට් මණ්ඩලය ගන්න තීන්දු අගමැති ක්‍රියාත්මක කරන්නේ නැහැ. ජනාධිපතිවරයා කියන දේ පොලිස්පති අහන්නේ නැහැ. ඒ නිසා මේක අද අරාජික රටක් බවට පත්වෙලා. දුම්රිය වැඩ වර්ජනය එහෙන් තියෙනවා. දැන් රජයේ මුද්‍රණාලයේ එ.ජා.ප. ආධාරකරුවන් 13 දෙනකුට දේශපාලන උසස්වීම් ලබාදීලා, රාජ්‍ය මුද්‍රණාලය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙලා. මම හිතන්නේ නැහැ පාර්ලිමේන්තුවේ තීන්දු තීරණ ගත්තට ගැසට් එක ගහන්න පුළුවන් වෙයි කියලා රජයේ මුද්‍රණාලයේ. පෞද්ගලික මුද්‍රණාලයක තමයි ගැසට් එක ගහන්න වෙන්නේ.

මේ රටේ කථානායකතුමාට කියන්න බැහැ කිසිම දේකට නීතියක් නැහැ කියලා. මොකද නීති හදන්නේ පාර්ලිමේන්තුව. හැම එකටම නීති වෙනස් කරනවා නම්, විපක්ෂ නායකකම වෙනස් කරන් බැරි නැහැ. ඕනම කෙනකුට තේරෙනවා ආණ්ඩුවට පස්සේ විශාලම කණ්ඩායම ඉන්නේ ඒකාබද්ධ විපක්ෂයට බව. එතකොට 70 ඉන්න කණ්ඩායමටද මේක දෙන්න ඕන 16 කණ්ඩායමටද කියලා මොන්ටිසෝරි දරුවකුට වුණත් තේරෙනවා.

පුවත් මවන්න මේ ආණ්ඩුව දක්ෂයි. අපි දුටුවා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ගැටුමේ තරම. ජනාධිපතිවරයා "පුබුදමු පොළොන්නරුව" ව්‍යාපෘතිය ආරම්භ කරන්න හදන විට මෙහෙන් කිව්වා මන්ත්‍රිවරුන්ගේ පඩි වැඩි කරනවා කියලා. සම්පූර්ණයෙන්ම අර ව්‍යාපෘතිය මාධ්‍යයෙන් යට ගියා. පඩි වැඩි වීම උඩට ආවා. මේ ආණ්ඩුව ඇතුළෙත් ගැටුම්, පිටතත් ගැටුම්.

පාරිලිමේන්තු මන්ත්‍රි කනක හේරත්
කාලයකට පෙර දුම්රිය වෘත්තීය සමිතිවල නියෝජිතයන් වගකිව යුතු පාලකයන් සමඟ සාකච්ඡා කළා. කැබිනට් අනුමැතිය පවා ලබාදෙනවා මුදල වැඩි කරන්න කියලා. එවැනි අවස්ථාවක මංගල සමරවීර ඇමැතිවරයා ඒකට විරුද්ධ වෙනවා. ඉන් පසුව තමයි උද්ඝෝෂණයකට යන්නේ. මේ හැම දේකින්ම ජනතාව තමයි අපහසුතාවට පත් වෙන්නේ. ජනතාව ඉතාමත් ප්‍රකෝපකාරී ආකාරයට හැසිරීමට කටයුතු කළේ මේ නිසා. ජනතාව එහෙම හැසිරෙන්නේ ආණ්ඩුවේ කණ්ඩායම් එතැනට ඇවිල්ලා අතරමං වෙලා හිටපු ජනනතාවට උල්පන්දම් දුන්නා. ඒකයි ජනතාව එලෙස ප්‍රකෝපකාරී ලෙස හැසිරුණේ.

තෙල් සංස්ථා වර්ජනයේදීත් ආණ්ඩුව මේ ආකාරයටම හැසිරුණා.

පළාත් සභා තුනක් විසුරුවා දමලා මාස 10ක් ඉක්මවා තිබෙනවා. අපි හිතනවා ඉදිරියේදී අනෙක් පළාත් සභාවලින් මැතිවරණ පත්වන්නේ නැතුව ඉදිරියට ගෙන යයි කියලා. ජාත්‍යන්තරයේ බලපෑම් මත ඇතැම් පළාත් සභාවල මැතිවරණ පවත්වන්න පුළුවන්. විශේෂයෙන් මේ මැතිවරණ පවත්වන්නේ නැත්තේ ආණ්ඩුව දන්නවා ඔවුන් පරාජය වෙන බව. අපිට 50%ක ප්‍රතිශතයක් අරගෙන ජයග්‍රහණය කරන්න පුළුවන්.

ඥානසාර හිමියන්ට ලබාදුන් නඩු තීන්දුව අපි දැක්කා. අපි බලාගෙන ඉන්නවා අධිකරණයට අපහාස කරන රන්ජන් රාමනායක සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ මත පළ කරන සහ උතුරු පළාත් මහ ඇමැති විග්නේශ්වරන් මහතාට මොකද වෙන්නේ කියලා.

ඉෂාරා සිල්වා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon