වතුර බැරලයකට වැටී අට හැවිරිදි දැරියක් මරුට

  👤  2807 readers have read this article !
By mawbima 2018-08-10

මොනරාගල - සංජීව බණ්ඩාර, වැල්ලවාය - ජී.අයි. රොෂාන්, වෙල්ලස්ස - සේපාල

තණමල්විල, උෟව කුඩාඔය අතුරුපාර ලිපිනයේ පදිංචි අට හැවිරිදි දැරියක් අඩියක් පමණ වතුර තිබූ බැරලයකට වැටී වතුර පෙවීමෙන් පෙරේදා (08දා) මියගොස් ඇතැයි තණමල්විල පොලිසිය පවසයි.

මෙම අවාසනාවන්ත සිද්ධියෙන් මියගොස් ඇත්තේ තණමල්විල ප්‍රාථමික විද්‍යාලයේ තුන්වැනි වසරේ ඉගෙනුම ලබන අමාශි ඉන්දීවරි නමැති දැරියකි.

මෙම දැරියගේ පියා පොලිස් විශේෂ කාර්ය බළකායේ මාන්කුලම් කඳවුරේ සේවය කරන පොලිස් සැරයන්වරයකු බව පොලිසිය පවසයි.

අනතුරෙන් මියගොස් ඇත්තේ මෙම පවුලේ එකම දරුවා බව අනාවරණය වේ.

සිද්ධිය වූ දින මෙම දැරියගේ මව හා මෙම දැරිය පමණක් නිවසේ සිටි ඇති බවත් මව රෙදි සෝදමින් සිට ඇති බවත් දැරිය ඇය වැටී මියගිය වතුර බැරලයට සෙල්ලම් භාණ්ඩ දමා සෙල්ලම් කරමින් සිට ඇති බවත් පොලිසිය පවසයි.

දැරියගේ මව වන බුද්ධිමා ලක්මාලි යන අය පොලිසියට පවසා ඇත්තේ තමන් රෙදි සෝදා අව්වේ වේළෙන්නට දමා නැවත පැමිණ බලන විට ඇය එම වතුර බැරලය තුළට වැටී සිටි බවයි.

පොලිසිය පවසන්නේ දරුවා වැටී සිටි බැරලයේ වතුර පිරී තිබුණේ අඩියක් පමණ උසට බවයි.

කෙසේ නමුත් දැරිය මෙම මව විසින් ප්‍රදේශවාසීන් සමඟ තණමල්විල මූලික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මොනරාගල කොට්ඨාසය භාර පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල, සහකාර පොලිස් අධිකාරි ඩී.ජී.යූ. අමරතුංග යන මහත්වරුන්ගේ උපදෙස් හා නියෝග මත තණමල්විල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සී.ඒ. පනාවල මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

මෙම දැරියගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ ඊයේ (09දා) සිදුකිරීමට නියමිතව තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon