අපේ සෞඛ්‍ය සේවය රාජිත බින්දුවට දැම්මා

  👤  2979 readers have read this article !
By mawbima 2018-08-10

"නොමිලයේ බෙහෙත් දැන් නැහැ. බෙහෙත් තියෙන්නේ සල්ලිවලට. රෝහල තියෙනවා. හැබැයි බෙහෙත් පිටින් ගන්න ඕන. අද රජයේ ඉස්පිරිතාලෙකට ඇතුළු වෙන්න බැහැ, සල්ලි නැතිව. වාට්ටුවේ නතර වෙන්න ඇඳක් ගන්න ඕන නම් ඕ.පී.ඩී. එක පැත්තෙන් ගිහිල්ල හරියන්නේ නැහැ. වෙන පාරක් තියෙනවා. මොකක්ද පාර ඒ පාර තමයි චැනල් පාර. ඒ ‍ෙදාස්තර මහත්තයම චැනල් කරල එයා තුණ්ඩුව ලියලා දෙනවා ඇවිල්ලා මගේ වාට්ටුවට ඇතුළු වෙන්න කියලා. පොඩි අසනීපවලට පොඩි පොඩි සල්ලි. ලොකු ලොකු අසනීපවලට ලොකු ලොකු සල්ලි. ලොකු අසනීපයක් එම හැදුණොත් දුප්පත් මනුස්සයකුට ජීවිතය ගැන බලාපොරොත්තුව අතහරින එක හොඳයි හොඳ කරගන්න වලිකනවට වඩා" යයි ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා පැවැසීය.

ඒ මහතා මෙම අදහස් පළ කළේ කොළොන්න ප්‍රදේශයේ පැවැති සම්මන්ත්‍රණයක් අමතමිනි.
මෙහිදී ලේකම්වරයා මෙසේද පැවැසීය.

අද ලෙඩක් හැදුණොත් හිඟමනේටම වැටෙනවා. මේක ශෝචනීය තත්ත්වයක්. අපේ දරුවෙක්ට අසනීපයක් හැදුණම දරුවා සනීප කරගන්න හිඟමනේ යදින්න වෙනවා නම් මොකක්ද මේ රටේ ජීවත් වන එකේ තේරුම. දරුවකුට බෙහෙත් කරන්න බැරි නම් මොකටද මේ රටට ආණ්ඩුවක්. ඒ ආණ්ඩු අපිට එහෙම වුණාට ලොක්කන්ට එහෙම නැහැ. ඒකයි වෙනස. අපේ රටේ සෞඛ්‍ය සේවය බින්දුවට වට්ටපු එක්කෙනා තමයි රාජිත මහත්තයා. රාජිත මහත්තයා තමන් විසින්ම තමන්ට නම්බු නාමයක් ගත්තා මොකක්ද සුවපති කියල. අපිට අඩු වුණේ ඔච්චරනේ. අපිට ජනාධිපති හිටියා. පොලිස්පති හිටියා අඩු වුණේ ඔච්චරයි. දැන් ඒකත් හරි. මෙයා සුවපති නෙවෙයි පසු පති. ඒ කියන්නේ හරක් බලන කෙනා.

ඔය සුවපති අසනීප වුණා. ගිය අවුරුද්දේ පපුවේ අමාරුවක් හැදුණා. බෙහෙත් ගත්තේ සිංගප්පූරුවේ මවුන්ට් එලිසබට් රෝහලෙන්. එයා නාගොඩ ඉස්පිරිතාලෙට ගියේ නැහැ. එයාගේ බිල ගෙව්වේ ආණ්ඩුව. ඒ අපේ බදු සල්ලි. සුජාතා නෝනා ආවේ නැහැ බෝඩ් එකක් උස්සගෙන මේ බිල අපිට ගෙවන්න බැහැ උදවු කරන්න කියල. ඒවා ඉබේම සිද්ධ වුණා. කෙහෙළිය මහත්තයා ඕස්ට්‍රේලියාවේදී කාමරේ ‍ෙදාරෙන් එළියට එන්නේ නැතිව, ජනේලයෙන් එළියට එන්න ගිහිල්ලා වැටිල කකුල කඩාගත්තා. සමහර අය කියන්නේ ඒක වුණේ කොටු පනින්න ගිහිල්ලය කියල. බෙහෙත් කළා ඕස්ට්‍රේලියාවේදීම. කෝටි දෙකයි වියදම. ජනාධිපති අරමුදලින් මහින්ද මහත්තයා ගෙවලා දැම්මා. අවුලක් වුණේ නැහැ පවුලේ අයට.

ඒ විතරක් නෙවෙයි මහින්ද මහත්තයාත් එහෙමයි. කොන්දේ අමාරුවටත් බෙහෙත් ගන්නේ සිංගප්පූරුවෙන්. අපි දැනගත්තේ ඕක චමල් මහත්තයාගෙන්මයි. ඇඹිලිපිටිය පැත්තේ පන්සලක උත්සවයකට මහින්ද මහත්තයාට එන්න විදියක් නැතිව චමල් ඇවිත් කිව්වා මහින්ද මහත්තයා සිංගප්පූරුවට ගිහින් බෙහෙත් ගන්න කියලා. එතකොටයි අපි දන්නේ.

අපේ රටේ ලොක්කෝ අසනීප වුණාම සිංගප්පූරුවෙන් බෙහෙත් ගන්නේ. අහිංසක ජනතාවට ලෙඩක් හැදුණාම එක්කෝ හිඟමනේ යන්න ඕන. නැත්නම් මැරෙන්න ඕන. මේවා විහිළු නෙවෙයි. ජීවිතත් එකක් තිබෙන ප්‍රශ්න.

දැන් අපත් සමඟ දැවැන්ත බලවේගයක් එකතු වෙලා ඉන්නවා. රටට ආදරය කරන දැනුම තියෙන විශාල කණ්ඩායමක්. මේ රට වෙනස් කරන්න ප්‍රතිපත්ති හදමින් ඉන්නවා. අපි කවුරුත් දන්නවා ප්‍රතිපත්ති තිබුණට වැඩක් නැහැ ඒවා ක්‍රියාවට නඟන්නේ නැත්තන්. මේ සඳහා ජනතා බලවේගයක් හදන්න ලෑස්තියි. මේ මොනදේ තිබුණත් ඒ සඳහා අවශ්‍ය දේශපාලන නායකත්වයකුත් ඕන. අවංක, හොර බොරු නැති දේශපාලන නායකත්වයක් අවශ්‍යයි.

ඇඹිලිපිටිය _ රූපසේන පත්තුව

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon