මේ ජාතික වස්තුවට ජනාධිපති පොදු සමාව දිය යුතුයි

  👤  3233 readers have read this article !
By mawbima 2018-08-10

ඥානසාර හාමුදුරුවෝ සිර ගත කරන්න තිබෙන හදිස්සිය පුරාවිද්‍යා ආඥා පනත අනුව ලබාදී තිබෙන නඩු තීන්දු 37 ක්‍රියාත්මක කරන්න නොමැත්තේ ඇයිදැයි මාගල්කන්දේ සුදත්ත හිමියෝ ප්‍රශ්න කළහ.

උන්වහන්සේ එසේ ප්‍රශ්න කළේ ඊයේ (09දා) රාජගිරියේදී පැවැති බොදුබල සේනා සංවිධානයේ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්ය. එහිදී උන්වහන්සේ වැඩිදුරටත් මෙසේද අවධාරණය කළහ.

යුද හමුදා බුද්ධි අංශයේ කර්නල්වරයකු ඇතුළු හමුදා නිලධාරීන් අවුරුදු දෙකකට ආසන්න කාලයක් රක්‍ෂිත බන්ධනාගාර ගත කරමින් හෝමාගම අධිකරණයේදී නඩු කටයුත්තක් පැවැත්වුණා. එදා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝත් අපත් අධිකරණයට ගියා.

එහිදී රංග දිසානායක මහෙස්ත්‍රාත්තුමා නඩුව සම්බන්ධව ප්‍රකාශයක් කළා. ප්‍රදීප් එක්නැලිගොඩ පැහැරගත් බවට ඇසින් දුටු සාක්‍ෂියකුත් නැත්නම්, මරණයට පත්වුණා නම් මළකුණවත් නැත්නම්, එහෙම නැත්නම් අළුවත්, අඩු ගාණේ ඇටසැකිල්ලක්වත් නැත්නම් ඝාතනය කළා නම්, ආයුධයක්වත් හමුවුණේ නැත්නම් සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය යටතේ නඩු පවරන්නේ කොහොමද කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කළා.

එම ප්‍රකාශයත් සමඟ බුද්ධි අංශ නිලධාරීන්ට ඇප දෙනවාද කියන සහනදායී සිතිවිල්ලක් අපට ඇති වුණා. ඒත් තවත් සුළු වේලාවකින් ඔවුන් රක්‍ෂිත බන්ධනාගාර ගත කළා. මේ නිසා එම නිලධාරීන්ගේ අඹු දරුවන් පවා අඬන්න ගත්තා. අපටත් වේදනාවක් ඇති වුණා. හමුදා නිලධාරීන් මේ ආකාරයට සිරගතකරන්නේ ඇයිද කියලා අපි අපෙන්ම ප්‍රශ්න කරන්න වුණා. බුද්ධි අංශ නිලධාරීන් බැහැරට යනවාත් සමඟ තමයි ඥානසාර හාමුදුරුවෝ නැඟිට්ටේ

ස්වාමිනී, කියලා මහෙස්ත්‍රාත්වරයා ආමන්ත්‍රණය කරලා මම පොඩ්ඩක් කතා කරන්නද ඇහුවා. මහෙස්ත්‍රාත්වරයා පුටුවට හේත්තු වෙලා ඒ කතාවට ඇහුම්කන් දුන්නා.වළක්වන්න උත්සාහ කළේ නැහැ. අහුම්කන් දීලා මහෙස්ත්‍රාත්වරයා කියනවා ''ඔබ වහන්සේ භික්ෂුන් වහන්සේ නමක් හින්දා අධිකරණයේදී කතා කරන්න ඉඩ දුන්නේ. මම වැඩ කරන්නෙත් නීති පොත්වලට අනුව විතරයි.

මේ චෝදනාව යටතේ නඩු පැවරුවාට පසුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඇප ලබාදිය නොහැකියි. මේකට ඇප ලබා ගත යුත්තේ මහාධිකරණයෙන්'' මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් කිව්වා. හාමුදුරුවෝ අධිකරණ ශාලාවෙන් බැහැරට යනවාත් එක්කම රජයේ අධිනීතිඥ දිලීප පීරිස්, උපුල් කුමාරප්පෙරුම මහත්වරු පාරේ ඉඳලා ඇවිත් අඩි පොළොවේ හප්පලා කියනවා තුන්වැනි පාර්ශ්වයකට නඩු කටයුත්තකට මැදිහත් වෙන්න බැහැ කියලා කිව්වා.

එහිදී ඥානසාර හාමුදුරුවෝ කිව්වා මේ නපුංසක ආණ්ඩුවේ නිලධාරීන් මේවට වග කියන්න ඕන කියලා. ඒත් නපුසංක නිලධාරීන් කියලා කිසි විටෙකත් කිව්වේ නැහැ. එහෙම නැතිව උන්වහන්සේ මහෙස්ත්‍රාත්වරයාට අභියෝග කළෙත් නැහැ. ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ මිනී මරලා, කුඩු විකුණලා, ස්ත්‍රී දූෂණ කරලා, හිරේට ගියේ නැහැ. රට, ජාතිය, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් දැවැන්ත මෙහෙවරක් කරමින් රණවිරු අයිතීන් වෙනුවෙන් පෙනී සිටින උන්වහන්සේට ජාතික වස්තුවක් සේ සලකා පොදු සමාවක් ලබා දෙන්න ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

මේ රටේ භික්ෂු දඩයම නතර වෙලා නැහැ. ආණ්ඩුව ඒක නතර නොකළොත් ඉදිරි මැතිවරණවලදී සිංහල ජනතාව ඒකට උත්තර දෙන්න සූදානම්. මේ රටේ පුරාවිද්‍යා පනතත් බලවත්, වරෙන්තුවක් නොමැතිව වුවත් අත්අඩංගුවට ගන්න පුළුවන්. ඒත් පුරාවිද්‍යා පනත යටතේ නඩු තීන්දු 37ක් මේ වනවිට දී තිබෙනවා. ඒත් එක නඩු තීන්දුවක්වත් ක්‍රියාත්මක වන්නේ නැහැ. සිංහල බෞද්ධයාට සෘජුව බලපාන නිසා ඒවා ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒත් හාමුදුරු නමක් හිරේ ගියපු ගමන් බන්ධනාගාර ආඥා පනත අරගෙන එනවා. ඔය ආඥා පනත් අරගෙන එන අප්පුහාමිලාට අපි කියනවා පුළුවන් නම් පුරාවිද්‍යා ආඥා පනත අනුව තිබෙන නඩු තීන්දු 37 ක්‍රියාත්මක කරන්න කියලා.

බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක ආචාර්ය දිලන්ත විතාතනගේ,
බොදුබල සේනා සංවිධානය විදේශ ආධාර අරගෙන තමන්ගෙන් මුස්ලිම් ප්‍රජාව අෑත් කරලා ආණ්ඩුව පෙරළන්න කුමන්ත්‍රණ කළා කියලා මහින්ද රාජපක්‍ෂ මහත්තයාත් කිව්වා. ඒ අය කියපු කතා බොරු බව අද රාජපක්‍ෂ මහත්තයාලටම පැහැදිලි වෙනවා.

පසුගිය වර ඥානසාර හිමිට ඇප දුන්නාම ආණ්ඩුව එක්ක ගනුදෙනුවක් ඇති බවට චෝදනා කළා. ඥානසාර හිමි සිරගත වීම නිසා පැහැදිලි වූ දෙයක් තමයි දේශපාලන ප්‍රවාහයේ සිදුවන කාලකණ්ණි ප්‍රකාශ අසත්‍ය බව ඒත්තු ගන්වන්න පුළුවන් වීම.

රන්ජන් රාමනායක, නාගානන්ද කොඩිතුවක්කු, සුගන්ධිකා ප්‍රනාන්දු වැනි අය කියන කතාවල යම් අර්ථයක් තියෙනවා.

දෙනගම ධම්මික රණවීර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon