චණ්ඩ සයුරේ අතරමංවූ ‘සින්දූර්’ ධීවරයෝ පණ ගැහි ගැහී ජීවිතය හොයපු හැටි

  👤  2517 readers have read this article !
By mawbima 2018-07-22

ඓතිහාසික සීනිගම දෙවොල් දේවාලයට මීටර් කීපයක් දුරින් රෝහණ මනෝජ් මහතාගේ නිවෙස පිහිටා තිබිණි. ඔහු බහුදින ධීවර යාත්‍රා කිහිපයක හිමිකරුවෙකි. ගෙවී ගිය සති තුන පුරා බොහෝ දෙනකු ඔහුගේ නිවෙසට පැමිණියේය. ඒ ඔහුගේ අතුරුදන් වූ 'සින්දූර් 2' ධීවර යාත්‍රාව සොයා ගන්නට ඔහු කළ නොපසුබස්නා උත්සාහයට දිරි දෙන්නටය. දුක සතුට බෙදා ගන්නටය.

'සින්දූර් 2' ධීවර යාත්‍රාව හික්කඩුව ධීවර වරායේ ලියාපදිංචි ධීවර යාත්‍රාවකි. ඉකුත් 14 දින ගාලු වරායෙන් ධීවරයන් හත් දෙනකු සමඟ ධීවර රැකියාව සඳහා පිටත්ව ගොස් තිබුණේය. දින පහළොවක් සාගර රළ සමඟ හැපෙමින් අවු වැසි සුළං නොතකා මත්ස්‍ය සම්පත සොයන්නට කැප විණි. නිරතුරුව රෝහණ සමඟ සම්බන්ධතා ඇතිකරගෙන තිබිණි. ඉකුත් 29 දින සිට ගොඩබිම හා යාත්‍රාව අතර සම්බන්ධතාව විසන්ධි වී තිබිණි. දින කීපයක් ගත විණි.

වහාම ක්‍රියාත්මක වූ රෝහණ මීටියාගොඩ පොලිසියට පැමිණිලි කළේය. මාධ්‍ය ආයතන හරහා බලධාරීන් දැනුවත් කළේය. ධීවර අමාත්‍යාංශය හා නාවික හමුදාව විශේෂ මෙහෙයුම් ඇරැඹීය. දින දහයක් පමණ ගත වෙද්දී මාලදිවයින් මුහුදු සීමාවේදී එරට ධීවරයන් පිරිසකට බෝට්ටුව හමුව තිබේ.

ඉකුත් 17 දින ඔවුන් සිය ගම් බිම් බලා පැමිණියේය. ඔවුන් දැක බලා ගන්නට බොහෝ පිරිසක් පැමිණ සිටියහ. පිරිස තොටගමුව විහාරස්ථානයට ගොස් තෙරුවන්ගේ ආශීර්වාදය ලබාගත්හ. සීනිගම දෙවොල් දේවාලයට ගොස් පූජාවන්ද පවත්වා ආශීර්වාද ලබා ගත්හ.

නිවෙස්වලට පැමිණි ඔවුන් පවුලේ සාමාජිකයෝ ඥාතීන් සිප වැලඳගෙන සිය සතුට සෙනෙහස බෙදා ගත්හ. සතුටු කඳුළු දෝර ගලා ගියේය. කඳුළ සුසුම වෙනුවට සතුට, සෙනෙහස සිත් පුරා විය. බලාපොරොත්තු ඉටු වූ සතුටු හැඟුමන් සෑම නෙතකම විය. රතිඤ්ඤා හ¾ඩින් ප්‍රදේශය ගිගුම් දුන්නේය.
තම ජීවිතයේ කවරදාකවත් අමතක නොවන බිහිසුණු අත්දැකීමක තොරතුරු ධීවරයෝ මෙසේ අප සමඟ බෙදා ගත්තේ පසුදා උදෑසනය.
හික්කඩුව, වැරැල්ලාන ලිපිනයේ පදිංචි අගම්පොඩි අසේල චාමන්ත (40) කී කතාව මෙසේය.

"අපි ගිය මාසේ 14 වැනිදා ඉඳලා 29 දක්වා හොඳින් රස්සාව කරගෙන ගියා. මේ රස්සාව කොහොමත් දුක් විඳින රස්සාවක්නෙ. එක පාරටම අපේ බෝට්ටුව නතර වුණා. ඒ වෙද්දි බැටරියේ චාර්ජ් එක බැහැලා තිබුණා. වතා කීපයක්ම ස්ටාර්ට් කරන්න බැලුවා. බෝට්ටුව හදා ගන්න නොකළ උත්සාහයක් නැහැ. අපේ රේඩියෝවත් නතර වුණා. ඒ නිසා ගොඩබිමත් එක්ක තිබුණු සම්බන්ධය නතර වුණා. කියන්න කෙනෙක්, විධියක් නොතිබුණු නිසා අසරණ වුණා. අපි හත් දෙනාම හතර අතේ මුහුද දෙස බලාගෙන හිටියා.

බෝට්ටුවක් දැක්කම අත වනනවා. අපි ළඟ තිබුණු සරොම් ඉරලා තමයි කොඩි හදා ගත්තේ. අපි ඔහේ පාවි පාවී තිබුණා. පුළුවන් විධියට බත් උයාගෙන කෑවා. ඒත් හිතේ තිබුණු දුකට, බයට බඩ පිරෙන්නේ නැහැ. අපි හාල් තියලා තියෙන තැනට වතුර ඇවිල්ලා හාල් තෙමුණා. හාල් කොට්ට දෙකක් මුහුදට දැම්මා. ඒ නිසා දින කීපයක් යනකොට හාල් මදි වගේ දැනුණා. අපි දෙපාරක් විතරක් කෑවා. කන ප්‍රමාණය පවා අඩුකර ගත්තා. දින දවසින් දවස ගෙවෙනකොට බය හිතුණා. කොහොම හරි අපේ බලාපොරොත්තුව වුණේ බෝට්ටුවක උදවු ඉල්ල ගන්නයි. ඒ නිසා බෝට්ටුවක් එනකන් බලාගෙන හිටියා. මම අතේ කඹයක් බැඳගෙන කොඩියක් අරගෙන කිලෝමීටරයක් විතර පීනුවා. අපේ බෝට්ටුව නොපෙනී යන තෙක්ම පීනුවා. ඒත් බෝට්ටුවක් හම්බ වුණේ නැහැ.

මම ධීවර රස්සාවට යන්න පටන් අරගෙන අවුරුදු හතක් විතර වෙනවා. කවදාවත්ම මේ වගේ බයක් ඇති වුණේ නැහැ. මගේ දරුවෝ දෙන්නා මතක් වුණා. බිරිය, අම්මා මතක් වුණා. ‍ෙදාවොල් දෙවියන්ට දුක කිය කියාම හිටියා."

හික්කඩුව, වැරැල්ලාන ලිපිනයේ පදිංචි කේ.එච්. දම්සඳ සුදීප් කුලරත්න (34) මහතාද මේ අනතුරට ලක් වූ ධීවර කණ්ඩායමේ ධීවරයෙකි. ඔහු සොයා ගිය අපිට පැවැසුවේ මෙවැන්නකි.

"අපි බෝට්ටුවක් එනකන් බලන් ඉන්නකොට බෝට්ටුවක් දැක්කා. අපි උඩට නැඟලා කොඩි වැනුවා. කෑගැහුවා. ඒ බෝට්ටුව අපිව දැක්කා. ඒ අය අපි ළඟට ළං වුණා. එයාලා මාලදිවයින රටේ රස්සාව කරන අය. ඔවුන් එයාලගේ ඒජන්සියට කතා කරලා ඒ රටේ බලධාරීන්ට අපි ගැන කිව්වා. ඒ අය කිව්වා පැය තුනක් විතර යනකොට බෝට්ටුවක් ඒවි කියලා. අපි බලාගෙන හිටියා. අපි හත්දෙනා කොයි පැත්තෙන්ද එන්නේ කියලා. බලන් ඉන්නකොට 5.30ට විතර මාලදිවයින් ආරක්ෂක බෝට්ටුවක් ආවා. බෝට්ටුව අතහැරලා නඟින්න කිව්වා. එයාලගේ බෝට්ටුවට නඟින්න අපි එකවරම කැමැති වුණේ නැහැ. අපි කිව්වා බැටරිය චාර්ජ් කරගන්න උදවු කරන්න කියලා. එයාලගේ බෝට්ටුවේ වයර් එකක් ගලවලා චාර්ජ් කරගත්තා. ඒත් ස්ටාර්ට් වුණේ නැහැ. කොහොම වුණත් අවුරුදු හයක් විතර රස්සාව කරපු බෝට්ටුව දාලා එන්න හිත දුන්නේ නැහැ. ඒ නිසා අපි ඔවුන්ට කිව්වා බෝට්ටුව ඇදගෙන යමු කියලා. ඒත් ඒ බෝට්ටුවට ඒ සඳහා පවර් එකක් නෑ කිව්වා. අපි ඒ බෝට්ටුවට නඟින්න අකැමැති නිසා එයාලා පැත්තකට ගිහිල්ලා ගොඩබිමත් එක්ක කතා කළා. රෑ 11.30ට විතර අපිව ඇදගෙන යන්න බෝට්ටුවක් ඒවි කියලා ඒ අය කිව්වා. අපි ඒ බෝට්ටුව එනකන් බලාගෙන හිටියා."

එතැන් පටන් සිදුවූ සිදුවීම් මාලාව අපිට පැවැසුවේ රාමසුන්දර හෙට්ටිගේ කලිඳු නිලංග චන්දන (26), හික්කඩුව - තොටගමුව නිවෙසේදී හෙතෙම මෙසේ කීය.

"අපිව ඇදගෙන යන්න මාලදිවයින් බෝට්ටුවක් එනවා කියලා ඔවුන් අපිට කිව්වා එන බෝට්ටුවට සංඥා කරන්න කියලා. අපි හරි සතුටින් හිටියේ ජීවිතේ ගැන පොඩි බලාපොරොත්තුවක් ඇති වුණා. අපි ඒ බෝට්ටුවට එනකොට ටෝච් ගහලා, කොඩි වනලා, සංඥා කළා. ඔවුන් අපි ළඟට ඇවිල්ලා අපේ බෝට්ටුව ඇදගෙන ගියා. 'දිනිඳු' කියන දූපතට තමයි අපිව මුලින්ම අරගෙන ගියේ. පොලිසියේ තමයි අපි හිටියේ. මාලදිවයින ආරක්ෂක අංශය අපිට හොඳට සැලකුවා. උදේ මාලදිවයින දූපතට එන්න ආවා. හවස් වෙනකොට දූපතට ගොඩ බැස්සා. තානාපති කාර්යාලයෙන් අපිව බලාගත්තා. අපේ මුදලාලිගේ මස්සිනා කෙනෙක් ඉන්නවා ඒ රටේ. එයා අපිව භාරගත්තා. එයාගේ කාමරේ තියාගෙන අපිට උදවු කළා. එයාගේ ශ්‍රී ලංකාවේ යාළුවොත් අපිට ගොඩක් උදවු කළා. ඇඳුම් පැලඳුම්, ආහාර පාන ගෙනත් දුන්නා. කිසිම අඩුවක් පාඩුවක් වෙන්න දුන්නේ නැහැ.පාස්පෝට් හදලා ලංකාවට එව්වා. ගුවන් තොටුපොළින් ලංකාවට බැස්සාම පුදුම සතුටක් ඇති වුණේ. ගෙදර ආවාම ඒ සතුට දෙගුණ තෙගුණ වුණා. මම විවාහකයි. නෝනට ලැබෙන්න ඉන්න දරුවා ගැන නිතර මතක් වුණා. බුදුන් දෙවියන්ට පින් සිදු වෙන්න ජීවිතේ බේරුණා."

හික්කඩුව - තොටගමුව ලිපිනයේ පදිංචි විතාරණ රෝහණ මහතාද මේ ධීවරයන් අතර සිටි කෙනෙකි.

"මමත් අතේ කඹයක් බැඳගෙන කිලෝමීටර් එකහමාරක් පමණ කොඩියක් අරගෙන පීනුවා. බෝට්ටුවක් හොයාගන්න තමයි උනන්දු වුණේ. අපේ මුහුද වගේ නෙමෙයි. මුහුදට බහින්න හරි බයයි. මුහුද හරි සැරයි. ඒත් ජීවිතය ගැන නොහිතාම මේ විදියට පීනුවා. ගෙදර දරුවෝ, බිරිය නිතර මතක් වුණා. දැන් හිතෙන්නේ මැරිලා ඉපදුණා වගේ කියලා. මොකද සමහර වෙලාවේදී ජීවිතය ගැන බලාපොරොත්තු පවා නැති වුණා. මම ගොඩක් දුක් විඳලා කාටවත් කරදරයක් නැතිව ජීවත් වන කෙනෙක්. ඒ නිසාම තමයි ජීවිතේ බේරුණේ."
තෙල්වත්ත, දලුවතුමුල්ල ලිපිනයේ පදිංචි ජනිත ප්‍රසංග කුමාර (27) යන අය මෙසේ කීය.

"මුහුද දිහා බලාගෙන ඉවසුමක් නැතිව හිටියේ බෝට්ටුවක් එනකන්. හරි හැටි නින්දක් නැහැ. කෑමක් නැහැ. අපි මාළු පවා කෑමට ගන්න පටන් ගත්තා. ඇන්ජිම පණ ගන්වන්න ගොඩක් දේවල් කළා. ඒ හැම වැඩකින්ම අපි පරාද වුණා. බෝට්ටුව දාලා එන්න අපි කැමැති වුණේ නැහැ. මාලදිවයින ආරක්ෂක අංශයේ අය අපිව හොඳින් තේරුම් ගත්තා."
හික්කඩුව - සීනිගම ලිපිනයේ පිහිටි සෙල්ලාහන්දි සමන්ත මහතා (53) සොයා අපි ඔහුගේ නිවෙසට ගියෙමු. ඔහු කීවේ මෙවැන්නකි.
"මම මේ රස්සාවට යොමු වෙලා වසර දහයක් විතර වෙනවා. මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. දරුවොයි පවුලයි රැකගන්න තමයි මේ හැම දෙයක්ම කරන්නේ"යි පවසද්දී සියලු දෙනාගේම දෙනෙත්වලට කඳුළු උනන්නට වූයේය.

"බෝට්ටුවක් අතුරුදන් වුණාම තියෙන තැන හොයා ගන්න වී.එම්.එස්. පද්ධතිය මඟින් පුළුවන්. ඒකට අපි මාස තුනකට සැරයක් රුපියල් 7,800 බැගින් ගෙවනවා. ඒත් ලංකාවේ එහෙම තැනක් පිහිටුවලා නැහැ. මම බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ කඩිනමින් වී.එම්.එස්. පද්ධතියක් ලංකාවේ පිහිටුවන්න කියලයි."
හික්කඩුව - තොටගමුව ලිපිනයේ පදිංචි නයිදුවාහන්දි සුසිල් ප්‍රනීත (46) මහතා මෙසේ පැවැසීය.
"බැටරි හතරම අක්‍රිය වීම හිතාගන්න අමාරුයි. අපි නොකළ උත්සාහයක් නැහැ. අපිව මුදා ගන්න ගොඩක් අය කැප වුණා."

හික්කඩුව - සංජීව මණික්කුවාවඩු

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon