දේශපාලනඥයන් ළඟ හුරතල් වෙන පාතාල කල්ලි වතගොත

  👤  2832 readers have read this article !
By mawbima 2018-07-22

පාතාලය හා දේශපාලනයේ ඇති සබඳතා ගැන ඉකුත් සතියේ දේශපාලන පොර පිටියේදී නොයෙකුත් වාද විවාද ඇතිවිය. ආසන්නම සිදුවීම වූයේ අමාත්‍ය සරත් ෆොන්සේකා පිළිබඳව ජා.නි.පෙ. නියෝජනය කරන ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි පද්ම උදයශාන්ත ගුණසේකර කළ අනාවරණයත් සමඟය. තමන් එවැන්නන් සමඟ සබඳතා නොපවත්වන බව ඇමැතිවරයා කීවේය.

නමුත් දේශපාලකයන්ගේ වර්තමාන පාතාල සබඳතා ගැන ආරක්‍ෂක අංශ බොහෝ තොරතුරු හෙළි කරගෙන ඇත්තේය. එමෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකාය පාතාලයන් හඹා යෑම දිගටම සිදු කරමින් පවතින්නේය. එවැනි වාතාවරණයක පාතාලයන් දේශපාලකයන්ට සමීප වීමට කටයුතු කරනුයේ තමන්ගේ ගැලවිජ්ජාව සඳහාය.

ගම්පහ දිසාව කේන්ද්‍ර කරගෙන සිටි පාතාල නායක ඩී. මංජු පොලිස් විශේෂ කාර්ය බළකාය අතින් මරුමුවට පත්වන්නේ මීට මාස කිහිපයකට පෙරය.

ඩී. මංජුගේ ප්‍රතිවිරුද්ධ කල්ලිය වූ බැරල් සංඛ සමඟ සිටි පොලිස් හෙවත් අත්තනායක නම් වූ වැඩ තහනමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා මෙම සතියේ කරළියට ආ ප්‍රධාන චරිතයකි. පෑලියගොඩ, බියගම පොලිස් ස්ථානවල සේවය කර ඇති 'පොලිස්' වැඩ තහනමට ලක්වූ පසුව පාතාල ක්‍රියා සඳහා ඍජුවම දායක වූ බවට පාතාල මර්දන කණ්ඩායම් අනාවරණය කරන්නේය.

ඩී. මංජු වත්තලදී පොලිස් විශේෂ කාර්ය බළකාය අතින් වෙඩි හුවමාරුවකදී මිය යන්නට පෙර ඩී. මංජුට වෙඩි තබන්නට යන්නේ පොලිස් අත්තනායක හා බැරල් සංඛය. මත්ද්‍රව්‍ය ජාවාරමේ කිරුළ ගන්නට මරාගන්නා පාතාල කල්ලි සටනේදී ඩී. මංජුට වෙඩි තබන්නට පෑලියගොඩ සරස හෝටලය ළඟට යතුරුපැදිය පදවාගෙන විත් තිබුණේ පොලිස් අත්තනායකය. වෙඩි තබන්නේ බැරල් සංඛය. එම ප්‍රහාරයෙන් ඩී. මංජු දිවි ගලවා ගන්නේ වාසනාවකටය. බැරල් සංඛ සමඟ ප්‍රහාරයට ගිය අත්තනායක පොලිස් අත්අඩංගුවට ගත්තද එයට ඉදිරිපත් කරන්නේ ක්‍රිස්ටෝපර්ය.

මෙම සිද්ධියට පෑලියගොඩ පොලිසියේ අස්සන් කරන්නට අත්තනායක තවමත් එන්නේය. පොලිස් හැඳුනුම්පත පෙන්වා අපරාධ ලොව කරක් ගසන්නට පොලිස් අත්තනායක උත්සාහ කළද එයට පාතාල මර්දන කණ්ඩායම් හරස් විණි. එතැනදී පොලිස් අත්තනායක රැකවල් ලැබීම සඳහා දේශපාලනයට සමීප වීම තෝරා ගෙන තිබිණි.

බැරල් සංඛ හා පෑලියගොඩ නෙවිල්ගේ පාතාල කණ්ඩායම් සමඟ කරළියට එන මොහුට අමතරව කරළියට එන්නේ ඔවුන් සමඟ සිටි මල්වත්ත මංජු ගැනය.

මංජු පාතාල ක්‍රියාකාරකම් හා මත්කුඩු ජාවාරම් කටයුතු සම්බන්ධව චෝදනා ලැබූවෙක්ය. පෑලියගොඩ මල්වත්තේ පදිංචි මංජු අවසන් වරට අත්අඩංගුවට ගන්නේ හෙරොයින් මිලිග්‍රෑම් 160ක් සමඟය. අලුත්කඩේ මහෙස්ත්‍රාත් උසාවියේ ර්ඛ් 54893 යටතේ එකී නඩුව විභාග වන්නේය. මීට අමතරව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය 2009 අප්‍රේල් 21 දින හෙරොයින් ග්‍රෑම් 11කුත් මිලිග්‍රම් 620ක් සමඟ බී. 4896/2009 යටතේ අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේය.

මෙහිදී නම් කියැවුණු නයනජිත් පෑලියගොඩ කේන්ද්‍ර කරගත් මත්ද්‍රව්‍ය ජාවාරම රහසින් මෙහෙය වන මහ මොළකරුවකු බව පොලිස් වාර්තාවල සඳහන්ය. නයනජිත්ගේ පවුලේ අයද ප්‍රාදේශීය දේශපාලනඥයෝය.

සියලු දෙනා කලින් කලට කැලණියේ මැර දේශපාලනය හමුවේ පෝෂණය වෙමින් පැමිණ දේශපාලන සබඳතා සිය ආරක්‍ෂාව සඳහා උපයෝගී කර ගන්නට උත්සාහ කළහ.
මත්කුඩු ජාවාරම්, පාතාල ලොව මිනීමැරුම් හා අපරාධවලට එරෙහිව ඩී. මංජු හෙවත් දඩල්ලගේ මංජු මෙන්ම වනාතමුල්ලේ බිම්සරට දැල එලුවද එහිදී විවිධ බලපෑම් ඇති වූයේය.ගම්පහ දිස්ත්‍රික් ප්‍රබල දේශපාලනඥයකුගේ ආධාරකරුවන් ලෙස කටයුතු කළ මෙම කණ්ඩායම් රැකගන්නට එම පාර්ශව ක්‍රියා කළ නිසා පොලිස් විශේෂ කාර්ය බළකාය භාර ප්‍රධාන ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාට විවිධ දේශපාලන බලපෑම් එල්ල විය. ඔහු ඒ කිසිවක් ඉදිරියේ නොසැලී තම බළකායට අපරාධ මර්දනය කරන්නට නියෝග කළේය.

මෙතැන සිට දේශපාලන රැකවල් නොලැබෙන බව දැනගත් පාතාල කණ්ඩායම් මීළඟට තෝරා ගන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් දේශපාලනඥයකුට සමීප වීමය.

එහිදීත් පොලිස් විශේෂ කාර්ය බළකාය හා සංවිධානාත්මක අපරාධ ඒකකය ඩී. මංජුගේ ගෝල බාලයන් කොටු කරද්දී ඔවුන් අහිංසකයන් බව කියමින් බේරාගන්නට ගම්පහ දිසාවේ ප්‍රබල දේශපාලනඥයන් දෙපළක් උත්සාහ දරා තිබිණි. සැබැවින්ම මෙම අපරාධකරුවන්ගේ අපරාධවල දිග පළල මෙම දේශපාලකයන් නොදන්නවා විය හැකිය. එහෙත් ඔවුන් පාතාලයන් බව දැන දැනත් ඔවුන්ට රැකවරණ දෙන්නේ ඡන්ද ගොඩවල් එකතු කර දෙන්නට දරන මහන්සිය නිසාය.

මෙම දේශපාලකයන් දෙදෙනාගේම රැකවල් මැද සිටියද එස්.ටී.එෆ්. මෙහෙයුම්වලින් ගැලවී යා නොහැකි බව දන්නා ඩී. මංජු හා බිම්සර අවසානයේ පිහිට පතන්නේ තම මවුවරුන්ගෙන්ය. ඒ තම පුතුන් නිර්දෝෂී අය බවට සඳහන් කරමින් පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රධානි ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාට ලිපි යවමිනි.
දේශපාලන රැකවරණය පතමින් පාතාලයේ ඉහළට එන්නට වෙර දැරූ ඩී. මංජු වත්තලදී පොලිස් විශේෂ කාර්ය බළකාය අතින්ම වෙඩි කා මැරෙන්නේය.

ඩී. මංජු දේශපාලන රැකවරණ පතන්නේ මීට පෙර ප්‍රාදේශීය දේශපාලනඥයකුගේ ඝාතනයටද චෝදනා ලබා තිබෙන පරිසරයකය. 2014 මැයි 12 දලුගම, ටයර් හන්දියේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පෑලියගොඩ නාගරික මන්ත්‍රි චමිල ඝාතනයේ යතුරුපැදියෙන් පැමිණි රියැදුරු ඩී. මංජුය.

ඩුබායිහි සිටින මාකඳුරේ මධුෂ්ට එරෙහිව එළිපිට සටන් කළ ඩී. මංජු කලක් කඩුවෙල පාතාල නායක සමයං සමඟ පාතාලයේ ගනුදෙනු සිදුකළ අයෙකි. රාජගිරිය ඔබේසේකරපුරදී යසස් ශ්‍රී නමැති මධුෂ්ගේ දකුණු අත මෙන් වූ සගයා ඝාතනයට යතුරුපැදියෙන් ගොස් තිබුණේ ඩී. මංජුය. සමයංගෙන් පුරප්පාඩු වූ කඩුවෙල පාතාලයේ තැන ගන්නට කළු සාගර සමඟ යන්නේ ඩී. මංජුය.

ඩුබායිහි සැඟවී සිටින දකුණේ පාතාල උරුමයට සටන් කරන කොස්ගොඩ සුජීගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවමින් කොළඹ කේන්ද්‍ර කරගත් හෙරොයින් ජාවාරම සිදු කරන්නේ ඩී. මංජු අතිනි.

කොස්ගොඩ සුජී ගැන කතා කරද්දී කොස්ගොඩ සුජීගේ විවාහයට අස්සන් තබන්නේ දකුණේ දේශපාලනඥයෙකි. පසු කලෙක කොස්ගොඩ සුජීට කටුනායක ගුවන්තොටුපොළෙන් පැන ගන්නට ලැබෙන්නේය.

එතැනින් නොනැවතී පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කොස්ගොඩ සුජීගේ අම්මා දේශපාලන කරළියට ගෙන එන්නේද මෙකී දේශපාලනඥයායි.

කොස්ගොඩ සුජීගේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයන් වූ කොස්ගොඩ තාරකගේ මව ඡන්ද සටනට ගෙන එන්නේද මෙකී දේශපාලනඥයාගේකර මතිනි. තම දේශපාලන ගමනේ ඡන්ද ගොඩ වැඩි කර ගන්නට හෙතෙම ලෙයට ලෙය මරාගන්නා පාතාල කල්ලි දෙකේම සහාය ගත්තේය.

මාකඳුරේ මධුෂ් විසින් යෙදූ වැලිගම ඡන්ද සටනේ නිරත වූ පාතාලයකු පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගෙන පොලිසියට භාර දුන් මොහොතේ පොලිසියට බලපෑම් කළ බවට චෝදනා එල්ල වූයේ එම දේශපාලනඥයාටය.

පොලිසියට බලපෑම් කර මාකඳුරේ මධුෂ්ගේ ඇවෑමෙන් දේශපාලනයට ආ පාතාලයා නිදහස් කරගන්නට දේශපාලනඥයකු උත්සාහ කළද එය ව්‍යර්ථ වූයේය.

ඩුබායිහි සැඟවී සිටින මාකඳුරේ මධුෂ් ගැන කතා කරද්දී ජාතික දේශපාලනයේ නිරත දේශපාලනඥයන් තුන්දෙනකුගේම සහාය ඔහුට ලැබෙන බව වරින් වර එළියට ආවේය. කොස්ගොඩ තාරකගේ කල්ලිය මාතර නිලේකා ජුවලරි ආයතනය කොල්ලකා පලා යද්දී කොටුවූ කොස්ගොඩ තාරකගේ කල්ලියට මිනි උෂී වර්ගයේ ප්‍රභූ ආරක්‍ෂක ඒකකවලට ලබාදෙන ගිනි අවියක් හමුවීමත් සමඟ ඒ පිළිබඳ ආරක්‍ෂක අංශවල දැඩි අවධානයක් යොමුවිය.

මාකඳුරේ මධුෂ් ඩුබායිවලට පැනගත් පසුව ලංකාවට පැමිණි තුන් වතාවේදීම රැකවරණ දුන් ඩිෆෙන්ඩර් රථ දකුණේ දේශපාලනඥයකුගේ බව පාතාල මර්දන කණ්ඩායම් අනාවරණය කළේය. එකී දේශපාලන අනුග්‍රහයෙන් මාකඳුරේ මධුෂ්ට ඩිෆෙන්ඩර් රථවලින් ආරක්‍ෂාව සපයා තිබුණේය. මාකඳුරේ මධුෂ්ගේ ආච්චි මියගිය මොහොතේ මධුෂ් පැමිණ ගිය වග පාතාල මර්දන කණ්ඩායම්වලට තොරතුරු තිබිණි. වරෙක පාතාල මර්දන කණ්ඩායම් තරුපහේ හෝටලයක දේශපාලනඥයකුගේ සමීපතම ඥාතියකුගේ විවාහ මංගල්‍යයක් දිනයේ මාකඳුරේ මධුෂ් එහි එනු ඇතැයි සිතා දැවැන්ත මෙහෙයුමක් දියත් කළහ. විවිධ වෙසින් ව්‍යාපාරිකයන් හා ප්‍රභූවරුන් මෙන්ම හෝටල් සේවකයන් මෙන් බුද්ධි අංශවල නිලධාරීන් එම හෝටලයට රිංගා තිබුණේ රටට පිළිලයක් වූ මාකඳුරේ මධුෂ් කොටු කරන අදහසිනි.

මාකඳුරේ මධුෂ් මාතර පාලමක් මතදී ඩිෆෙන්ඩර් රථවලින් යද්දී වරෙක කොටු කරන්නට විශේෂ පොලිස් කණ්ඩායමක් සමත්ව තිබුණද එදින ප්‍රබල දේශපාලනඥයකුගේ දුරකථන ඇමැතීමකින් මුදාහැරිය බවට පාතාල මර්දන ඒකකවලට තොරතුරු ඇත්තේය.

මේ ආකාරයට කොළඹ පාතාලය රකින බවට වරක් රජයේ ප්‍රබල දේශපාලකයකුට චෝදනා එල්ල වූයේය. ඒ ප්‍රචාරක රැලියකදී බ්ලූමැන්ඩල් සංඛගේ කල්ලියට දෙමටගොඩ චමින්දගේ කල්ලිය වෙඩි තබාගැනීමත් සමඟය. එම වෙඩි තැබීමෙන් අහිංසක සිවිල් වැසියන්ගේ ජීවිත අහිමි වූ අතර පාතාල ලොව ගැටුම සමඟ දේශපාලකයාගේ සම්බන්ධය කරළියට ආවේය. එපමණක් නොව මෙරට පළාත් පාලන මැතිවරණයට එංගලන්තයේ රැඳී සිටින කුඩු ලාල්ගේ පුතුන් දෙදෙනාව ප්‍රධාන දේශපාලන පක්‍ෂයකින් නාම යෝජනා ලැයිස්තුවට ඇතුළත් කළ බවට චෝදනා එල්ල වූයේද එම දේශපාලකයාටමය. මාධ්‍ය මඟින් කල්තියා කළ අනාවරණයක් නිසා එම නම් ගැලවී ස්වාධීන කණ්ඩායම්වලට එක් නොවන්නට කුඩු ලාල්ගේ පුතුන් දෙදෙනාත් අද ප්‍රධාන දේශපාලන පක්ෂයක් හරහා නාගරික දේශපාලනයේය. ඉදිරියේදීත් කුඩු ලාල් මෙවැනි ප්‍රබල දේශපාලන චරිත සහාය මැද තම පුතුන් සමඟ දේශපාලනයට එන්නට වෙර දරන්නේය.

මේ අයුරින් කොළඹ දිස්ත්‍රික්කයේ තවත් දේශපාලනඥයකු පාතාල නායක සමයං හා සමයංගේ කල්ලි සමඟ සබඳතා පැවැත්වූ බවද දේශපාලන පිටියේ එළිපිටම චෝදනා එල්ල වූයේය. කළුතර එතනමඬලදී අංගොඩ ලොක්කාගේ කල්ලිය අතින් මරු දකින්නට පෙර සමයං වැලිකඩ හිරගෙදර සිට එකී ඡන්ද සටන් මෙහෙයවා තිබුණේය.

වැලිකඩ බන්ධනාගාරයෙන් එවකට සමයං සතුව තිබී හමුවූ ටැබ් දුරකථනයද දේශපාලන සබඳතා මත ලැබුණු එකක් බව බන්ධනාගාරයෙන් හෙළි වූයේය. පාතාල නායක සමයං මරු දකිද්දීත් ෆේස්බුක් පිටුවේ සමයං දමා තිබුණේ එකී දේශපාලකයා දිනවන ඡන්ද පාඨ සහිත පෝස්ට්ය. මේ ආකාරයට රටක් නොදන්න පාතාලයට කිරිපොවන දේශපාලනඥයන් දුසිම් ගණනක් රටේ ඇත්තේය.

දකුණු ඉන්දීය චිත්‍රපටවලින් බහුතරයක පාතාලයට කිරි පොවා පණ පොවන්නේ මැති ඇමැතිවරුන්ය. එයද ලංකාවටද වලංගුය. පාර්ලිමේන්තුවේදී ඇමැති සරත් ෆොන්සේකාට චෝදනා කළේ පාතාලයේ හාල්මැස්සන් ගැන කියමිනි. පාතාලයේ තෝරුන් මෝරුන්ට තවමත් කිරි පොවමින් මීළඟ ඡන්දයත් ගොඩ දා ගන්නට වෙර දරන දේශපාලනඥයන් දුසිම් ගණනක් තවමත් සිටින වග පාතාල මර්දන කණ්ඩායම්වල තොරතුරුවල සඳහන්ය.

දෙවුන්දර කුඩු රජා ලෙස හැඳින්වූ කුඩු තමිල්ගේ අයිස් මෝල් විවෘත කරන්නට එවකට ගියේ වත්මන් කරලියේ සිටින ප්‍රබල දේශපාලනඥයෙකි. එම දේශපාලනඥයා දෙවුන්දර නිවාඩුව ගත කරන්නේද තමිල්ගේ සුවපහසු නිවාසවලය. කාලයාගේ ඇවෑමෙන් එකී දේශපාලකයා දෙවුන්දර තමිල් අෑත් කළද තවමත් තමිල්ට හයිය ඇත්තේ ඔහුගේ සහචරයන්ගේය.

මැති ඇමැතිවරුන් යටතේ රැකවල් ලබන පාතාලයන් මෙන්ම ඇමැති ලේකම්වරුන් යටතේ රැකවල් ලබන පාතාලයන්ද දැන් සිටින්නේය. එක් අමාත්‍යාංශයක ලේකම් ධුරයක් දැරූ ලේකම්වරයකු තම ඥාතියකු වූ නිලධාරියකු පෞද්ගලික ආරක්‍ෂක නිලධාරියකු ලෙස යොදාගෙන සිටියදී පිස්තෝල දෙකක් කුලියට විකුණා පොලිසියට කොටුවිය. ඉන් පසුව වැඩ තහනම් වූ එකී ප්‍රභූ ආරක්‍ෂක නිලධාරියාට තමා සතු තරු සහිත තනතුරත් අහිමි වන්නේය.

එම නිලධාරියා තනතුර අහිමි වීමෙන් පසුව නවතින්නේ මාකඳුරේ මධුෂ්ට එරෙහිව සමයං කල්ලියට පණ පොවා ඉහළට එන කළු සාගරගේ කල්ලිය සමඟය. බත්තරමුල්ලේ මංජු හා කළු සාගර සමඟ පාතාලයට එක්වූ මෙම ප්‍රභූ ආරක්‍ෂක නිලධාරියා තම ඥාතියා වූ ඇමැති ලේකම්ගේ අනුහසින් පාතාල ලොව රජ කරන්නට වෙර දරන බව දැන් තොරතුරු ඇත්තේය.

මැති ඇමැතිවරුන්, ඇමැති ලේකම්වරුන් තුරුලේ හැදෙන පාතාලයන්ට කිරි පොවා මීළඟ ඡන්ද සටනට ගෙන එන්නට දරන වෑයම දැන්වත් නොනැතුවහොත් එය තවත් ඔඩුදුවන පිළිලයක් වන බව නම් නිසැකය.

පුබුදු වික්‍රමතිලක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon