පුත්තලමේ විලුක ගමේ පින් සිහිනය සැබෑවෙයි

  👤  2395 readers have read this article !
By mawbima 2018-07-22

ගමයි පන්සලයි වැවයි දාගැබයි මැද පෝෂණය වූ ගැමියනට ඉන් ලද සැනසීම අතිමහත්ය. වැවක් නැතිවා වුවද ගමකට පන්සලක් ල‍ෙදාත් එගම්වැසි දනන්ගේ සිත් නිවෙනු ඇත. සැනසෙනු ඇත. 'විලුක' ගමද එවැන්නකි. පුත්තලම් දිස්ත්‍රික්කයේ ඉතා දුෂ්කර ඉසව්වක පිහිටි මේ ගමේ දුප්පත් අහිංසකයන්ගේ හෘදයාංගම ඉල්ලීමක් විය. එනම් "අපට බුදුන් වඳින්න, පුදන්න, හසිත සනසගන්න පන්සලක් ඕනෑ" යන්නය.

"ඉරිදා මව්බිම"ට යොමු කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අප 2017 ජුනි 11දා පුවත්පතෙන් මේ බව රටට ඇහෙන්නට ඉල්ලීමක් කළේ මෙසේය.
‍ෙදාහොත් මුදුන් දී වඳින්න
පසඟ පිහිටුවා වඳින්න
සාදුකර දී වඳින්න
අපට පන්සලක් හදන්න
ඊට සැණින් ප්‍රතිචාර ලැබිණ. "මව්බිම" පාඨකයකු හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුද, දානපතියකුද වන කිරිබත්ගොඩ යූ.එස්. අලහකෝන් මහතා මෙම සද්කාර්යයේ වගකීම මුළුමනින්ම භාර ගත්තේය. වසර එක්දහස් පන්සියකටත් වඩා පැරැණි රූස්ස නා ගසකින් සෙවණ ලද, පුණ්‍ය භූමියක් අපගේ ඇස ගැටිණ. එය මෙගම් වැසියනගේ නිවෙස් අද්දර ඔවුන්ගේ සිත් සැනසෙන ඉසව්වකම විය. "මව්බිමේ" මඟ පෙන්වීමෙන් ජීවය ලද අලහකෝන් මහතා 'විලුක' ගමට පන්සලක් දෙන විශ්වකර්මකාරිය ඉටු කරන්නට පටන් ගත්තේය. නොයෙකුත් බාධක දුක් කම්කටොලු කඩා පාත් වූයේය. ඒ මැද හිතාගන්නටවත් බැරි තරමට අංගසම්පූර්ණ බුදු මැඳුරක්, බෝධි ප්‍රාකාරයක්, චෛත්‍යයක්, භික්‍ෂු ආවාසගෙයක්, දහම් පාසල් ගොඩනැඟිල්ලක්, ධර්ම ශාලාවක් ඉදි වුණේය.

බෝධි ප්‍රාකාරයේ සැලසුම ඉදිකිරීම කතෝලික තරුණයකුගෙනි. පසුගියදා සිදුකෙරුණු නේත්‍ර ප්‍රතිෂ්ඨාපනයෙන් පසු 'විලුක' ගමට ලැබුණු "අලහකෝන් බෞද්ධ මධ්‍යස්ථානය" දැන් අංගසම්පූර්ණ වී තිබිණි. රූස්ස නා තුරු සෙවණ යට මංගල ධර්ම දේශනාව සිදු කෙරෙද්දී මහ සඟරුවන හා ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියේ ප්‍රධාන මවුලවි තුමන්ද එක්ව සිටීම විශේෂත්වයක් විය. ඉස්ලාම් හා හින්දු බැතිමතුන්ද සමඟ මෙම සද්කාර්යය ඉෂ්ට සිද්ධ කිරීමට ලැබීමේ අවස්ථාවට අපටද ප්‍රමුඛ වීමට ලැබීම භාග්‍යයක් විය.

වැව් ඉස්මත්තේ දාගැබ් හැදුනත් 'විලුක' ගම් වැසියනට සයුරු රළ බිඳි හමන මුහුදු සුළං වදින ඉසව්වක, දුෂ්කර බිම් පියසක නා තුරු සෙවණක සිසිලස විඳ විඳ මෙතැන් පටන් සිත් නිවාගනු වස් වඳින්නට පුදන්නට පුණ්‍ය භූමියක් ලැබී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon