ඇලෝසියස්ගේ කූඩුවේ තිබූූ සිම්වලින් පාතාලයන්ට කෝල් අරන්

  👤  3348 readers have read this article !
By mawbima 2018-07-20

අමිල අබේරත්න

බැඳුම්කර සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ හිමිකරු ලෙස සැලකෙන අර්ජුන් ඇලෝසියස් රඳවා සිටින 'එච්' වාට්ටුවේ තිබී අත්අඩංගුවට ගත් දුරකථන සිම්පත් පහෙන් ප්‍රබල පාතාල සාමාජිකයන් හා සම්බන්ධ වී ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළ අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය හමුවේ සඳහන් කළාය. ඊට අදාළව ජංගම දුරකථන සමාගම් ලබාදී ඇති දත්ත හා ඇමැතුම්වලට අදාළ තොරතුරුවලට අනුව සිදුකළ විශ්ලේෂණවලදී එම සිම්පත් මඟින් දකුණේ අපරාධවලට සම්බන්ධ අපරාධකරුවන්ට ඇමතුම් ලබාගෙන ඇති බවට තොරුතුරු අනාවරණය වූ බව අතිරේක සොලිසිටර් ජනරාල් ජයසුන්දර මහත්මිය අධිකරණයට කරුණු වාර්තා කිරීමකින් තොරව එහිදී සඳහන් කළාය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එලෙස දන්වා සිටියේ මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ නඩුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ ඊයේ (19දා) දින යළි කැඳවූ අවස්ථාවේදීය.

ඒ පිළිබඳව ඉදිරියේදී කරුණු වාර්තාකරන බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට ප්‍රකාශ කර සිටියාය.

ඉකුත් 24 වැනිදා බන්ධනාගාරය තුළ සිදුකළ සෝදිසියකදී ජංගම දුරකථන 3 සහ ඊට අදාළව භාවිත කළ සිම්පත් 5ක්, අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යන අය රඳවා සිටින බන්ධනාගාර මැදිරියේ තිබී හමුවූ බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විසින් අධිකරණයට දන්වා සිටිනු ලැබිණි.

අර්ජුන් ඇලෝසියස් යන අය රක්ෂිත බන්ධනාගාරයේ සිට ජංගම දුරකථන මඟින් බැඳුම්කර සිද්ධියට අදාළව ආධාර අනුබල දුන් පාර්ශ්වයන් සමඟ කතාබහ කර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වූ බවත් ඔහු භාවිත කරන ලද බවට සැක කරන ජංගම දුරකථන 3ක් සහ එක් ජංගම දුරකථනයක් අර්ජුන් ඇලෝසියස් රඳවා සිටින විශේෂ වාට්ටුවේ සිටින පාතාල නායකයකු වන උෟරුජුවා ළඟ තිබී බන්ධනාගාර විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් සිදුකළ සෝදිසියකදී සොයාගත් බවත් ඉකුත් නඩු දිනයේදී නීතිපතිවරයා නියෝජනය කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා අධිකරණයට දන්වා සිටියේය.

අදාළ ජංගම දුරකථන අර්ජුන් ඇලෝසියස් බන්ධනාගාරයේ රඳවා සිටින 'එච්' නමැති විශේෂ වාට්ටුවේ අර්ජුන් ඇලෝසියස් නිදාගන්නා මෙට්ටය සහ කොට්ටය අතර තිබී සොයාගත් බව මෙහිදී සඳහන් කෙරිණි.

මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු ලෙස සැලකෙන අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යන අය ලබන 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon