පොලිසියට හොර සුරා වැටලීමට-නඩු පැවැරීමට බලයක් නැති වගන්තියේ අවුලක්

  👤  2898 readers have read this article !
By mawbima 2018-07-20

චාමර අමරසූරිය

නීති විරෝධී මත්පැන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවේ නඩු පැවරීමට පොලිසියට බලය නොමැති බවට සුරාබදුු ආඥා පනතේ - 52 වගන්තියේ, නඩු පැවරීමේ සීමාවන් යටතේ සඳහන් කර තිබීම අධිකරණය සහ පොලිසිය අතර අර්බුදකාරී තත්ත්වයක් ඇති වීමට හේතුවී ඇතැයි නීති විශාරදයෝ සඳහන් කරති.

නීති විරෝධී මත්පැන් අත්අඩංගුවට ගෙන එම සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීමට බලයක් පොලිසියට නොමැති බවට 1912 සුරාබදු ආඥාපනතේ 52 වැනි වගන්තියේ නඩු පැවරීමේ සීමාවන් යටතේ දක්වා ඇත.

නීති විරෝධී මත්පැන් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගතහොත් එම සැකකරු සමඟ අත්අඩංගුවට ගත් භාණ්ඩ සුරාබදු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවත්, සුරාබදු දෙපාර්තමේන්තුව සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීමේ කටයුත්ත සිදු කළ යුතු බවත් එම වගන්තියේ සඳහන් වී තිබේ.

2011 වසරේ ශේ‍ර්ෂ්ඨාධිකරණයද මෙම වගන්තිය යටතේ නීති විරෝධී මත්පැන් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමේ බලයක් පොලිසියට නොමැති බව දක්වා ඇත.

කෙසේ වෙතත් 2014 ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන්ම නැවත නියෝගයක් ලබාදී ඇත්තේ එකී බලය පොලිසියට ඇති බවටයි.
මේ සම්බන්ධයෙන් වර්තමානයේ ඇතැම් අධිකරණවලින් නියෝග ලබා දෙන්නේ නීති විරෝධී මත්පැන් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමේ බලය පොලිසියට නොමැති බවට ප්‍රකාශ කරමින් යැයිද නීතිඥයෝ සඳහන් කරති.

මේ සම්බන්ධයෙන් 'මව්බිම' කළ විමසුමකදී බස්නාහිර උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල කරුණාතිස්ස, ගාල්ල මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් යන මහත්වරුන් සහ දෙයියන්දර හා ගලිගමුව මහෙස්ත්‍රාත් අධිකරණවල මහෙස්ත්‍රාත්වරුන් මීට අදාළව නඩු පැවරීමේ බලය පොලිසියට ඇති බව දන්වා නියෝග නිකුත් කර නැති බවටය.

ලෙස්ටර් පින්තෝ නඩුවට අදාළව ශේ‍ර්ෂ්ඨාධිකරණය 2014දී ලබා දුන් නියෝගයට අනුව එම මහෙස්ත්‍රාත්වරුන් එකී නියෝගය නිකුත් කර නැති බවද අජිත් රෝහණ මහතා පැවැසීය.

එසේම නීති විශාරදයන් පවසන්නේ මෙම අර්බුදය නිරාකරණය කර ගැනීමට හැකි වත්මන් සුරාබදු පනතේ අදාළ වගන්ති සංශෝධනය කිරීමකින් පමණක් බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon