ලක්‍ෂ 25ක් වංචා කර සැඟ වී සිට මාට්ටු වූ අයකු වස කා මැරිලා

  👤  3075 readers have read this article !
By mawbima 2018-07-20

කොළඹ - එම්. සී. පෙරේරා

රුපියල් ලක්‍ෂ විසිපහක් වංචා කළ පුද්ගලයකු මහරගම විජේරාමේදී දැක ඔහු පසුපස හඹා ගොස් පිළියන්දල නිවන්තිඩිය ප්‍රදේශයේදී මුදල් ලබා දුන් පුද්ගලයා අල්ලා ගැනීමට උත්සාහ කිරීමේදී කිසියම් කුඩු වර්ගයක් කටේ දමා ගැනීම හේතුකොට ගෙන ඔහු මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පදිංචි බව කියන අසේල ආරච්චිගේ සංජීව ධනුෂ්ක (39) යන අයයි.

මියගිය පුද්ගලයා පන්නිපිටිය ඇරැව්වල ප්‍රදේශයේ පදිංචි අයකුගෙන් මීට වසර පහකට පමණ පෙර නැවත ලබා දීමේ පොරොන්දුව පිට රුපියල් ලක්‍ෂ විසිපහක මුදලක් ලබාගෙන එය ආපසු නොදී මඟ හැර සිටි බව පොලිසිය කියයි.

එම පුද්ගලයා ඒ සම්බන්ධයෙන් මිරිහාන විශේෂ වංචා විමර්ශන අංශයට කරන ලද පැමිණිල්ලකට අනුව නුගේගොඩ ගංගොඩවිල අධිකරණයේ ඔහුට එරෙහිව නඩු පවරා තිබුණද ඔහු එම නඩුවට ද ඉදිරිපත් නොවීම හේතුවෙන් වරෙන්තු ද නිකුත් කර තිබූ බව පොලිසිය කියයි.

මහරගම නාවින්න ප්‍රදේශයේ කුලී රථ සේවාවක් පවත්වාගෙන ගොස් තිබූ එම පුද්ගලයා පසුව එය වසා දමා මෙපමණ කාලයක් සැඟ වී සිට ඇති බව පොලිසිය කියයි.
මුදල් ලබා දුන් පුද්ගලයා විජේරාම ප්‍රදේශයේදී ඊයේ (19දා) හදිස්සියේම මුදල් වංචා කළ පුද්ගලයා ත්‍රිරෝද රථයක සිටින අයුරු දැකීමත් සමඟ යතුරුපැදියෙන් ඒ අසලට යාමේදී ත්‍රිරෝද රථය පණ ගන්වාගෙන පලාගොස් ඇති අතර මුදල් හිමිකරුද යතුරුපැදියෙන් පසු පසින් හඹාගොස් ඇතැයි පොලිසිය කියයි.

පිළියන්දල බෝකුන්දර දක්වා ත්‍රිරෝද රථය ධාවනය කර ඇති එම සැකකාර පුද්ගලයා නිවන්තිඩිය ප්‍රදේශය කරා යද්දී රථ වාහන තදබදයට හසුවීමෙන් අනතුරුව පසුපසින් හඹා ආ මුදල් ලබා දුන් පුද්ගලයා ත්‍රිරෝද රථය අල්ලා ගන්නා ලෙස ඒ අවට ප්‍රදේශවාසීන්ට පැවසීමත් සමඟ ත්‍රිරෝද රථයෙන් පලා ආ පුද්ගලයා කුඩා ඉටි කවරයක බහා තිබූ කුඩු වර්ගයක් කටට හලා ගෙන ත්‍රිරෝද රථයෙන් බැස මද දුරක් යද්දී ඇද වැටී ඇති අතර ඒ සමඟම ඔහු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
එම පුද්ගලයා බිම ඇද වැටීමට පෙර යම් උස මහත පුද්ගලයකු පා පහරක් එල්ල කරන අයුරු අසල වෙළෙඳසලක සවිකර තිබෙන සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව ඇතැයි පොලිසිය කියයි.
මියගිය පුද්ගලයා කුඩා ඉටි කවරයක තිබී කටට හලා ගත්තේ උග්‍ර විසකින් යුත් ද්‍රව්‍යයක් විය හැකි බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

එම පුද්ගලයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පොලිසි ගණනාවකට මුදල් වංචා රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි අයකු බව පොලිසිය කළ මූලික පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ පරීක්‍ෂණාගාරයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ශාරද ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ පැවැත්වූහ.

ගල්කිස්ස කොට්ඨාස භාර පොලිස් අධිකාරි රොෂාන් විජේසිංහ සහකාර පොලිස් අධිකාරි සමන් ජයසේකර මහත්වරුන්ගේ උපදෙස් මත පිළියන්දල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සාරනාත් සමරකෝන්, පොලිස් පරීක්‍ෂක තෙන්නකෝන්, කොස්තාපල් අරවින්ද මහත්වරු පරීක්‍ෂණ පවත්වති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon