ටයිම්ස් බෝම්බයට පෙර ව්‍යවස්ථා බෝම්බ පුපුරයි

  👤  3059 readers have read this article !
By mawbima 2018-07-20

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු

පාර්ලිමේන්තුව ඊයේ (19දා) ආරම්භයේ සිටම දැඩි උණුසුම්කාරී මුහුණුවරක් ගත්තේය. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළවූ ප්‍රවෘත්ති වාර්තාවක් සම්බන්ධයෙන් ඊයේ දින පාර්ලිමේන්තුවේ කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට තීරණය කළ අවස්ථාවේදී සිටම මෙම විවාදය උණුසුම් වනු ඇති බව අනුමාන කෙරුණේ ආණ්ඩු පක්ෂයෙත් විපක්ෂයෙත් දැඩි උනන්දුවක් මේ විවාදය වෙනුවෙන් පැවතුණු නිසාය.

මෙම විවාදයේදී අදහස් දැක්වීමට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ දේශපාලන නියෝජිතයෝ බර අවි ඔසවා ගෙන ආයුධවලින් සන්නද්ධ වූයේ දින කිහිපයක සිටය.
මෙම විවාදයට ඉදිරිපත් වන කථිකයන්ට ඉතා හොඳින් සූදානම් වන ලෙසට ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේදී මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේදීද උපදෙස් ලැබිණි.

නමුත් මෙම කල් තැබීමේ විවාදය ආරම්භ කිරීමට පෙර මැතිසබය තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් තිබෙන බව දයාසිරිජයසේකර මන්ත්‍රිවරයා ප්‍රකාශ කිරීමත් සමඟම නිව්යෝර්ක් ටයිම්ස් බෝම්බයට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා බෝම්බය මැති සබය තුළ පුපුරා ගියේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් මණ්ඩලයට ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව විසින් ඉදිරිපත් කර තිබෙන වාර්තාවක බරපතළ කරුණු රැසක් තිබෙන බව දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මෙම විශේෂඥ කමිටුව විසින් වාර්තාවක් මෙහෙයුම් මණ්ඩලයට ඉදිරිපත් කරලා තියෙනවා. මේ ගැසට් එකට අස්සන් කරලා තියෙන්නේ ජයම්පති වික්‍රමරත්න, සුමන්තිරන් හා සුරේෂ් සුරේන්ද්‍රන් කියන අයයි.

ජනතා බලයෙන් බලයට පත්වන ජනාධිපති ඉවත් කිරීමේ කාරණයක් මේකට ඇතුළත් කරලා තියෙනවා. පාර්ලිමේන්තුවේ කථානායකතුමාට, අගමැතිතුමාට හා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකතුමාට එකතු වෙලා ජනාධිපතිතුමා ඉවත් කිරීමට හැකියි කියලා මෙහි සඳහන් වෙනවා.

අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පත තුන් හතර දෙනෙක් එකතු වෙලා හදන්නේ කොහොමද? මෙහෙම විශේෂඥ කමිටුවක් දාගෙන අදහස් ගන්න කොට අනෙක් දේශපාලන පක්ෂවලට යන කල දසාව මොකද්ද? මෙහෙම ව්‍යවස්ථාවක් ගේන්න හදනවා නම් අපි කැමැති වෙන්නේ නැහැ යනුවෙන් දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේය.
ජනාධිපතිතුමා එළවීමේ කුමන්ත්‍රණයක් තිබෙන බව දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා ප්‍රකාශ කරනවාත් සමඟම මැතිසබය තුළ ඇතිවූයේ උණුසුම්කාරී තත්ත්වයකි.

මේ සමඟම නැඟී සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේය. මේක ඉතා බරපතළ කාරණයක්. මේ වාර්තාවේ ව්‍යාජ අස්සනක් තිබෙන බව හෙළි වී තිබෙනවා. ශ්‍රී ලංකාවට මාස 6කින් ආපු නැති කෙනෙකුත් මේ වාර්තාවට අස්සන් කරලා තියෙනවා. හොර අස්සනක් දාලා තමයි වාර්තාව හදලා තියෙන්නේ. මෙහෙම පාර්ලිමේන්තුවක් පිස්සන් කොටුවක් යනුවෙන් මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළේය.

මේක පාර්ලිමේන්තුව පිස්සන් කොටුවක් නෙවෙයි. ඒක පිස්සන් කොටුව කියන වචනය ඉල්ලා අස්කරගන්න යනුවෙන් කරු ජයසූරිය කථානායකවරයා දැඩිව කියා සිටියේය.
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධනද මෙහිදී අදහසක් පළ කළේය.

ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රිතුමා ඉදිරිපත් කරපු ප්‍රවෘත්ති ප්‍රකාශයක මේ ගැන සඳහන් වෙලා තිබුණා. 18දා නව ව්‍යවස්ථා කෙටුම්පත ගෙනඑනවා කියලා එමඟින් සඳහන් කරලා තිබුණා. ජයම්පති වික්‍රමරත්න, සුමන්තිරන් සුරේෂ් සුරේන්ද්‍රන් එකතුවෙලා හදපු මෙම වාර්තාව පිළිබඳව මෙම විශේෂඥ කමිටුවේත් පරස්පරතා තිබෙනවා. විශාල මතභේදයක් ඇති වෙලා තියෙනවා. මේ මන්ත්‍රිවරුන් දෙදෙනා තමයි මේ වාර්තාවට බලහත්කාරයෙන් අස්සන් අරගෙන. මේක ඉතා භයානකයි. මේ වාර්තාව මෙහෙයුම් කමිටුවත් ප්‍රතික්ෂේප කරලා තියෙනවා.

ජනාධිපතිතුමා එළවීමේ කුමන්ත්‍රණයක් සම්පාදනය කිරීමේ වගන්තියක් මේකට ඇතුළත් වෙලා තියෙනවා. මේ රටේ ෆෙඩරල් ආණ්ඩුවක් බවට පත් කිරීමේ ව්‍යායාමයක් පවතිනවා යනුවෙන් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.
ඒකාබද්ධ විපක්ෂය විසින් මෙම කරුණු මතුකරමින් පැවැත්වීමට නියමිත නිව්යෝර්ක් ටයිම්ස් පුවත ගැන විවාදය මඟහැරීමට උත්සාහ කරන බව මෙහිදී අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙහිදී දිනේෂ් ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ සහ ගයන්ත කරුණාතිලක අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වූහ.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකද මෙහිදී අදහස් දැක්වීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවක් හා උපදේශක කමිටුවක් ක්‍රියාත්මක වෙනවා. ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාවක් මෙම විශේෂඥ කමිටුව විසින් ඉදිරිපත් කරලා තියෙන්නේ පොදු එකඟතාවකින් තොරවයි. මේ වාර්තාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව මඟින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. අනුර කුමාර දිසානායක කියා සිටියේය.
ජනාධිපතිතුමා ඉවත් කිරීමේ මෙහෙයුමක් තමයි මේ ක්‍රියාත්මක කරන්න යන්නේ. ජනාධිපතිතුමා ඉවත් කරන්න අගමැතිවරයාටයි කථානායකවරයාටයි............
විපක්‍ෂ නායකවරයාට එකතු වෙලා පුළුවන් තත්ත්වයක් තමයි ඇති කරන්න හදන්නේ" යනුවෙන් දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේය.

"මට ජනාධිපතිවරයා ඉවත් කිරීමේ වුවමනාවක් නැහැ" යනුවෙන් කරු ජයසූරිය - කථානායකවරයා ක්‍ෂණිකවම ප්‍රතිචාර දැක්වීය.
ජනාධිපතිවරයා ඉවත් කරන්න වගන්ති ගෙන එනවා. නමුත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් අගමැතිතුමා ඉවත් කිරීමක් ගැන නම් සඳහන් කරලා නැහැ. අගමැතිතුමාට පිස්සු හැදුණත් 19 වැනි සංශෝධනය අනුව ඉවත් කරන්න බැහැ" යනුවෙන් ද දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව විසින් මෙම විශේෂඥ කමිටුවේ වාර්තාව ප්‍රතික්‍ෂේප කර තිබෙනවා. මේ රටට හානියක් වන කිසිදු දේකට එක්සත් ජාතික පක්‍ෂය ඉඩ ලබා දෙන්නේ නැහැ. මේක මෝඩ චූන් එකක් යනුවෙන් කබීර් හෂීම් අමාත්‍යවරයා පැවැසීය.
මෙහිදී කබීර් හෂීම් අමාත්‍යවරයා සහ දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වූහ.

මෙහිදී නැඟී සිටි විමල් වීරවංශ මන්ත්‍රිවරයා ද මෙම වාර්තාව විවේචනයට ලක් කළේය.

අපේ රටේ නැති පුද්ගලයකුගේ අස්සනක් හොරාට ගහලා තියෙන්නේ කොහොමද? සුමන්තිරන් මන්ත්‍රිවරයා වාචික ලෙස මෙම අස්සන ලබා ගැනීමට උත්සාහ ගෙන තිබෙනවා. මේ ගැන වහාම සොයා බලන්න" යනුවෙන් විමල් වීරවංශ මන්ත්‍රිවරයා ඉල්ලීමක් කළේය.
ඒ ගැන අවධානය යොමු කරන බව කථානායකවරයා ප්‍රකාශ කළේය.

මේ අතර පැහැදිලි කිරීමක් සිදුකරන ලද තිරසර සංවර්ධන වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා දැඩි ලෙස පොලිසිය විවේචනයට ලක් කළේය.
ඇතැම් උසස් පොලිස් නිලධාරීන් ඇතුළු තවත් නිලධාරීන් කැලණිය පෑලියගොඩ පැත්තේ ජනතාවට හිංසා පීඩා සිදුවන ආකාරයෙන් කටයුතු කරනවා. කේරළ ගංජා තිබෙන බවට චෝදනා කරමින් මිනිස්සු අල්ලාගෙන යනවා. එක් තරුණයකු දරුණු ලෙස වධ හිංසාවලට ලක් කරලා තියෙනවා. අහිංසක මිනිස්සු මේ ආකාරයෙන් පීඩාවට ලක් කරන්න දෙන්න බැහැ. මේ ගැන නීතිය හා සාමය භාර ඇමැතිතුමාගේ අවධානය වහාම යොමු විය යුතුයි. සරත් ෆොන්ස්කා අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඇමෙරිකාවේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළවූ පුවත්පත් වාර්තාවක් පදනම් කරගෙන ඉදිරිපත් වූ පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදය ආරම්භ වූයේ ඉන් අනතුරුවය.
ආණ්ඩු පක්‍ෂයේත් ඒකාබද්ධ විපක්‍ෂයේත් ජනතා නියෝජිතයන්ගේ උණුසුම් වාද විවාද රැසක් මධ්‍යයේ මෙම විවාදය පවැත්විණි.

පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් චීනය ඇමෙරිකානු ඩොලර් මිලියන 7.6ක මුදලක් ලබාදුන් බවට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළ වූ වාර්තාව ගැන සොයා බලන ලෙස ඉල්ලමින් මෙම කල්තැබීමේ යෝජනාව ඉදිරිපත් කළේ එක්සත් ජාතික පක්‍ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ති තුෂාර ඉඳුනිල් අමරසේනය.

නමුත් මෙම යෝජනාව නිසියාකාරව ඉදිරිපත් නොවූ බව ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ප්‍රකාශ කිරීමත් සමඟම මැතිසබය තුළ ඇතිවූයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයකි.
කාංචන විජේසේකර මන්ත්‍රිවරයා රීති ප්‍රශ්නයක් මතුකරමින් කියා සිටියේ මෙම යෝජනාවට පදනම් වූ නිව්යෝර්ක් කරන ලෙසයි.

නියමාකාරයෙන් එය ඉදිරිපත් කර තිබෙන බව තුෂාර ඉඳුනිල් අමරසේන මන්ත්‍රිවරයා කියා සිටියේය.
නමුත් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඉන් සෑහීමකට පත්නොවූ අතර දිගටම බාධා කිරීම් සිදුවිය.
'මේ නරි රැළක් ඇවිල්ලා මට කරදර කරනවා. බාධා කරනවා.' තුෂාර ඉඳුනිල් අමරසේන මන්ත්‍රිවරයා කෑගසමින් කීවේය.

චීනයෙන් ශ්‍රී ලංකාවට ලබා දුන් ණය මුදල තුළ මැතිවරණ කටයුතුවලට ලබාදුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 7.6ක මුදල තිබෙනවා නම් එය ලබාගත් පුද්ගලයන්ගෙන් අය කළ යුතු බව මෙම යෝජනාව ස්ථිර කරමින් එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් පැවැසීය.

ලොකුම හොරකම් සිදුවන්නේ රජ ගෙවල් තුළ බව පෙන්වා දුන් අනුර කුමාර දිසානායක මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට, රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාට, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට දැඩි ලෙස චෝදනා කළේය.

ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් විවාදයට එක්වූ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කෙහෙළිය රඹුක්වැල්ල නිව්යෝර්ක් ටයිම්ස් පුවත දැඩි ලෙස ප්‍රතික්ෂේප කළේය.
"මෙම චෝදනාව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාත්, චයිනා හාබර් සමාගමත් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. අපි මේ විවාදයට මුහුණ දෙනවා. නමුත් බැඳුම්කර ජනාධිපති කොමිසම් වාර්තාව ආණ්ඩුව විවාදයට ගන්නේ නැහැ. කථානායකතුමා හීන් බබා, පුංචි බබා වගේ ඉන්නවා."

"2015 ජනාධිපතිවරණයේදී රෙජින් චේන්ජ් එක කරන්න ඇමෙරිකානු ඩොලර් මිලියන 585ක මුදලක් ශ්‍රී ලංකාව, මියන්මාරය හා නයිජීරියාවට ලබාදුන්නා කියලා ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජෝන් කෙරි ප්‍රකාශයක් සිදුකරලා තිබුණ. මේ මුදල් ගත්තේ කවුද කියලා සෙවීමක් සිදුකළ යුතුයි." යනුවෙන්ද කෙහෙළිය රඹුක්වැල්ල යෝජනා කළේය.
විවාදයට එක්වූ විමල් වීරවංශ මන්ත්‍රිවරයා විසින් දැඩි ලෙස ආණ්ඩුව විවේචනයට ලක්කරන ලදී.

"1960, 1965 මැතිවරණවලදී ඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතික පක්ෂයට මුදල් ලබාදී තිබෙනවා. රෙජින් චේන්ජ් එකට ඇමෙරිකානු ඩොලර් මිලියන 585ක් ලබාදෙන කොට රතු අලි පැටව් දැක්කේ නැද්ද?" යනුවෙන් විමල් වීරවංශ මන්ත්‍රිවරයා ප්‍රශ්න කළේය.
අකිල විරාජ් කාරියවසම්, කබීර් හෂීම් යන අමාත්‍යවරුන් දෙදෙනාම විවාදයට එක්වෙමින් පැවසුවේ මෙම චෝදනාවට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පිළිතුරු ලබාදිය යුතු බවයි.

මෙය ප්‍රතික්ෂේප කරමින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කර නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට යැවූ බවක් මීට අදාළ ඉදිරි නීතිමය කටයුතු ගන්නා බවත් ඒකාබද්ධ විපක්ෂයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන පෙන්වා දුන්නේය.

විවාදයට එක්වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක කියා සිටියේ හොරු දෙගොල්ලක් දෙපැත්තට වී එකිනෙකාට චෝදනා කරගන්නා අපූරුව කාලයකට පසුව දුටු බවයි.

බිමල් රත්නායක විසින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට දැඩි විවේචනයක් එල්ල කරන ලදී.
"ඒ පැත්තේ වගේම මේ පැත්තෙත් හොරු ඉන්නවා. මේ පැත්තේ හොරු කෑගහනවා. බරපතළ වංචා පිළිබඳ ජනාධිපති කොමිසමෙන් ඒකාබද්ධ විපක්ෂයේ 32කට චෝදනා එල්ල වෙලා තිබෙනවා. මේ කෑගහන්නේ අමු තක්කඩියෝ" යනුවෙන් බිමල් රත්නායක මන්ත්‍රිවරයා චෝදනා කළේය.

ඉන්පසුව මැතිසබය තුළ යළිත් උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.
විවාදයට එක්වූ එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුලාල් බණ්ඩාරිගොඩ ප්‍රකාශ කළේ මෙම චෝදනාවට පිළිතුරු ලබාදීම සඳහා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පැමිණිය යුතු බවයි.

"මේකට උත්තර දෙන්න මැක්කෝ, කුක්කෝ, ගෙම්බෝ ඇවිල්ලා වැඩක් නැහැ. හිටපු ජනාධිපතිවරයාම පැමිණිය යුතුයි." යනුවෙන් බන්දුලාල් බණ්ඩාරිගොඩ සඳහන් කළේය.
මෙම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කර තිබෙන බවත් හැකිනම් චයිනා හාබර් සමාගමෙන් ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති එම සමාගමෙන් ඉවත්කරන ලෙසට ආණ්ඩුව අභියෝග කරන බව සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.

මෙම කල් තැබීමේ විවාදය රාත්‍රි 7.30 වන තෙක් පැවැත්වීමට නියමිතව තිබුණද සවස 6.40ට ඝන පූර්ණය නොමැති වීමෙන් සභාව කල් තැබීමට සිදුවිය.

එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි මහතා කතා කිරීමට සූදානම් වන විට ඒකාබද්ධ විපක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඉන්දික අනුරුද්ධ පැවැසුවේ මැතිසබය තුළ ඝන පූර්ණය නොමැති බවය. එම අවස්ථාවේදී මූලාසනයේ සිටි හේෂා විතානගේ මන්ත්‍රිවරයා ඝන පූර්ණය කැඳවීමේ සීනුව නාද කිරීමට උපදෙස් ලබා දුන්නේය. ඝන පූර්ණය තිබීමට නම් අවම වශයෙන් මන්ත්‍රිවරුන් 20 දෙනෙකු සභාව තුළ රැඳිය සිටිය යුතු වන අතර කැඳවීමේ සීනුව නාදවීමෙන් පසුවද සභාවේ සිටියේ මන්ත්‍රිවරුන් 9 දෙනකු පමණි.
මේ අනුව සභාව කල් තැබීමට මූලාසනයට සිදු විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon