‘මත්තල’ කරන්න පුළුවන් කෙනකුට දීලා දාන්න කියලා එදා ඉඳලම මම කිව්වා

  👤  3255 readers have read this article !
By mawbima 2018-07-20

'මත්තල ගුවන්තොටුපොළත් පුළුවන් කෙනකුට ඉක්මනට දීල දාන්න කියලා මම එදා ඉඳලා කිව්වා. මිලියන 2600ක් මත්තල වෙනුවෙන් ගෙවිය යුතුයි. මේවා ගෙවන්න නම් ජනතාවට බදු ගහන්න වෙනවා' යැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය ‍ෙදාස්තර රාජිත සේනාරත්න මහතා කීවේය.

පාලින්දනුවර ප්‍රාදේශීය සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරු සහ බදුරලිය ප්‍රදේශයේ පක්ෂ ක්‍රියාකාරීන් දැනුවත් කිරීම සඳහා පාලින්දනුවරදී පැවැති උත්සවයක් අමතා රාජිත සේනාරත්න මහතා මෙසේද කීවේය.

මෛත්‍රිපාල - රනිල් කියන හොඳ වැදගත් නායකයන් දෙන්නෙක් බලයට ඇවිත් ඉන්න නිසා මෙන්න සල්ලි කියල විදේශිකයො අපට සල්ලි දෙන්නෙ නැහැ. එහෙම සුද්දෝ ලෝකෙ කොහේවත් නැහැ. සුද්‍ෙදාත් දැන් බොහොම අමාරුවෙන් දුවන තැනට වැටිලා. එහෙමනම් මේ ණය ගෙවන්න ජනතාවට තව තව බදු ගහන්න වෙනවා. පාරවල් හදන එක නතර කරන්න වෙනවා. රැකියා ලබාදීම නතරකරන්න වෙනවා. මේ නිසා හම්බන්තොට සහ මත්තල තියාගන්නව නම් මේ සියල්ල නතර කරල ජනතාවට බදු ගහන එක වැඩි කරන්න වෙනවා.

මම හම්බන්තොට ගියා. හූ කියන්න, කෑගහන්න ගත්ත අය විනාඩි විස්ස යද්දී මගේ කතාව නිසා නිශ්ශබ්ද වුණා. එදා මගේ කතාව නිසා යාන්තම් ජාමෙ බේරුණා. අපේ අගමැතිවරයා ලේසියෙන් 'තෑන්ස්ක්' කියල කියන්නෙ නැහැ. නමුත් එදා හම්බන්තොට කතාවට අගමැතිවරයා මට 'තෑන්ක්ස්' කියලත් කිව්වා. මේ රටට වරදක් වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ජීවිතේටම ඒක අපෙන් සිදුවෙන්නෙ නැහැ. මේ වැටිල තියෙන ප්‍රපාතයෙන් රට හදන්න අවශ්‍යයි. අපේ ආණ්ඩුවෙම කොටසක් අපටම බනිනවා. ආණ්ඩුවට පිට එවුන් බැන්නට වදින්නෙ නැහැ. හොරකම් කරනවා කියලා ආණ්ඩුව ඇතුළෙ ඉන්න එකෙක් කිව්වොත් ඒක වදිනවා.

මොකක්ද කියල දන්නෙ නැතිව හරි ගම්වල පවා බැඳුම්කරේ ගැන කතා වුණා. මොකක් හරි ගේමක් දීල තියෙනවා කියලා ගම්වල තරුණයො දන්නවා. මහ බැංකුවට අර්ජුන මහේන්ද්‍රන්ව දාන්න හදන කොට කැබිනට් මණ්ඩලයේදී පැහැදිලිවම ඇතිවෙනකම් අගමැතිවරයාට කිව්වා මෙයාව දාන්න එපා කියලා. දිගින් දිගටම මම මේක කිව්වා. සාමාන්‍යයෙන් මම යමක් කිව්වාම කියල අතාරින්නෙ නැහැ. මෙයාව ගේන්න එපා කියන හේතු පිළිබඳ මම දිගින් දිගටම තර්ක කළා. හේතු දැක්වූවා. 2001-2004 ආණ්ඩුවෙ සභාපතිවරයකු ලෙස හැසිරුණු විදිය, පුංචි තැන මෙහෙම නම් මහ බැංකුවට ඇවිල්ල හොරකම් කළොත් කොහොම වෙයිද කියලා මම පැහැදිලිකර දුන්නා. අන්තිමට මට කිව්වේ රාජිත මේක මගේ අමාත්‍යාංශය, එයා වරදක් කළොත් ඒක එදාට බලාගනිමු කියලයි.

මහ බැංකුවට මේ වගේ තත්ත්වයක් ඇතිවෙයි කියලා කවදාවත් අගමැතිවරයා හිතුවේ නැහැ. මොකද මහ බැංකුවට පත් කළ අධිපතිවරයාගේ සුදුසුකම් බැලුවම ඔහු ඉතා අනර්ඝයි. නමුත් ඇවිල්ල කළේ වෙන වැඩක්.

2018-2019 තීරණාත්මකයි. අපට ලබාදුන් ජනවරම අපි පාවා දෙන්නෙ නැහැ. පසුගිය ආණ්ඩුව සමයේ ඉතා කැත නාමයක් තමයි පතුරුවලා තිබුණේ. නමුත් අපි එය වෙනස් කළා. සමහරු බොරු දේශප්‍රේමයක් ගැන කතා කරනවා. කරන්න බැරි වැඩ ගැන කතා කරනවා. අපේ ආණ්ඩුව ජනතාවට විශාල සේවයක් කර තිබෙනවා. පසුගිය ආණ්ඩුව අපට ණය කන්දක් උරුම කර දුන්නා. නෞකා නැති වරායවල් හදලා කුරුල්ලො ඉන්න ගුවන් තොටුපොළවල් හදල රටේ ඉඩම් සින්නක්කර චීනයට විකුණුවේ මහින්ද රාජපක්ෂ මහතා බව සමහර අයට දැන් අමතක වෙලා ගිහිල්ලා.

මතුගම - වසන්ත කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon