අත්අඩංගුවට ගත් පසු පොලිස් පරීක්ෂකවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ තර්ජන ගැන ප්‍රකාශ කරන්න ඔහු ලෑස්තියි

  👤  3257 readers have read this article !
By mawbima 2018-07-20

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

"මේ සිද්ධිය බටහිර චිත්‍රපටයක්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිෂ්පාදකයන් අධිකරණයට ඇවිල්ලා ඉන්නේ. මගේ සේවා දායකයා වන පොලිස් පරීක්ෂකවරයා ලෑස්තියි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව අත්අඩංගුවට අරගෙන කරපු තර්ජන පිළිබඳව ප්‍රකාශයක් අධිකරණය හමුවේ කියන්න. එය රහස් ප්‍රකාශයක් නෙවෙයි" යැයි ජේ‍යෂ්ඨ නීතිඥ කාලිංග රවීන්ද්‍ර මහතා අධිකරණයට සැලකර සිටියේය. නිතිඥවරයා එසේ පැවසුවේ. ටී - 56 වර්ගයේ ගිනි අවිවලින් වෙඩිතබා යුද හමුදා විශේෂ බළකායේ හිටපු සෙබළකු හා පාතාල කල්ලි නායකයකු වූ එස්.එෆ්. බණ්ඩා ඇතුළු තිදෙනකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ නඩුව අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදීය.

අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු කේ.පී. ශානක හර්ෂණ මහතා සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අනුරාධපුර උළුක්කුලම පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ හිටපු ස්ථානාධිපතිවරයා හා සිද්ධියේ ප්‍රධාන සැකකරු වන උෟරු සංජීව නමැත්තා තවදුරටත් ලබන මස 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට නියෝග කළේය.

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ඉහළ සිංහාරගම, නොච්චියාගම ලිපිනයේ පදිංචි මෙරෙඤ්ඤ ජොහැනස්ගේ සංජීව දුලිප් කුමාර නොහොත් උෟරු සංජීව (39) හා 2016 වසරේ අනුරාධපුරේ උළුක්කුලම පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ අණදෙන නිලධාරි වශයෙන් කටයුතු කළ (ස්ථානාධිපති) හා අවසන් වරට නිකවැරටිය පොලිස් කොට්ඨාසයේ රස්නායකපුර පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ජයසිරිපුර, අනුරාධපුර ලිපිනයේ පදිංචි පොලිස් පරීක්ෂක ඇනම්පල ගෙදර රාලගේ චමින්ද කුමාර සිරිසේන (35) නමැත්තාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර සිටින උෟරු සංජීව නමැත්තාගේ ප්‍රකාශ පදනම් කර ගනිමින් ඝාතනයට යොදාගත් බව කියන උළුක්කුලම පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ අවි ගබඩාවේ තිබූ ටී - 56 වර්ගයේ ස්වයංක්‍රිය ගිනි අවි හතර රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යැවීමට නියෝග ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කොළඹ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල ඒකකය අධිකරණයට කියා සිටියේ පසුගිය 2016 වසරේ අප්‍රේල් මස 30 වැනිදා ඝාතනයට ලක්වූ ටී.එම්. සරත් බණ්ඩාර නොහොත් එස්.එෆ්. බණ්ඩා හා ඔහුගේ ගෝලයන් දෙදෙනකු බව කියන සමන් කුමාර හා ප්‍රදීප් කුමාර යන පුද්ගලයන්ගේ අබිරහස් ඝාතන සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනවලින් අනතුරුව සැකකාර හිටපු පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගත් බවයි.

සැකකාර පොලිස් පරීක්ෂකවරයා වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ ජේ‍යෂ්ඨ නීතිඥ කාලිංග රවීන්ද්‍ර මහතා,
මගේ සේවාදායකයාව නිකරුණේ අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා. මේක පොලිස් අධිකාරි තිසේරා නමැත්තාගේ දරුණු පළිගැනීමක්. ඔහු කියලා තියෙනවා මේ සිද්ධිය පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරන උසස් නිලධාරියෙක් සම්බන්ධයි කියලා ප්‍රකාශයක් දුන්නොත් ප්‍රශ්නයක් නෑ කියලා. ඔහුව මුදාහරිනවා කියලා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ උසස් පොලිස් නිලධාරියා දිවයිනේ ප්‍රසිද්ධ මූල්‍ය සමාගමක සිදුවූ රන් සොරකමට පටලවන්න.

මගේ සේවා දායකයා වන පොලිස් පරීක්ෂකවරයා ලෑස්තියි ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට අරගෙන කරපු තර්ජන පිළිබඳව ප්‍රකාශයක් අධිකරණය හමුවේ කියන්න. එය රහස් ප්‍රකාශයක් නෙමෙයි. මේ නිලධාරීන් පිරිස උළුක්කුලම කඳවුරට ගිහිල්ලා ගිනි අවි සිය ගණනක් අතරින් ගිනි අවි හතරක් අරගෙන කියනවා මේකෙන් තමයි වෙඩි තියලා තියෙන්නේ කියලා. ඊට පස්සේ අවි ටික අධිකරණයට ඉදිරිපත් කරනවා. මෙය සම්පූර්ණයෙන්ම බටහිර චිත්‍රපටියක්.

මේ බටහිර චිත්‍රපටියේ තිර රචනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්. එය අධ්‍යක්ෂණය කරන්නේ මේ අධිකරණයට පැමිණෙන නිලධාරීන්. මේ වෙඩි තැබීමේ සිද්ධියේ ඝාතනයට ලක්වූ පුද්ගලයාට අපරාධ චෝදනා 47ක් තියෙනවා. නමුත් මම කියන්නෑ ඔහු මරා දැමිය යුතු පුද්ගලයකු කියලා. කවුරු හරි ඒ දෙය කරලා තියෙනවා නම් ඊට දඬුවම් ලැබිය යුතුයි. නමුත් රට වෙනුවෙන් වසර ගණනාවක් සේවය කළ මේ නිලධාරියා බොරු සිද්ධියකට පටලවලා රක්ෂිත බන්ධනාගාරගත කරලා. මේක මෙහෙය වන පුද්ගලයනුත් අද වෙනකොට අපි දන්නවා."

නීතිඥවරයාගේ කරුණු දැක්වීමට ප්‍රතිචාර දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල ඒකකයේ පොලිස් සැරයන් මෙන්ඩිස් (14209) මහතා අධිකරණය හමුවේ කියා සිටියේ විත්තිකාර පොලිස් පරීක්ෂකවරයා වෙනුවෙන් පෙනී සිටින උගත් නීතිඥරයා ඝාතනයට ලක් වූ එස්.එෆ්. බණ්ඩාගේ නඩු 47 සඳහා අධිකරණය හමුවේ පෙනී සිටිමින් ඔහුගේ අයිතිවාසිකම් සඳහාත් පෙනී සිට ඇති බවයි.

එහිදී නැවතත් අධිකරණයට කරුණු දැක්වූ කාලිංග රවීන්ද්‍ර මහතා,
ගරු විනිසුරුතුමනි! මේ අය පුදුම දේවල් කියන්නේ. නීතිඥවරයකුට ඕනෑම සේවාදායකයකුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන්. මේ අය ගල් පැළෙන බොරු කියන්නේ. සැකකරුවෝ අරගෙන ගිහිල්ලා ප්‍රශ්න කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාමරයේ පොළොවත් පැළිලා ඇති මේ අය හදන බොරුවල හැටියට.

මොවුන් චේතිය ගණයේ ගල් පැළෙන බොරු තමයි අධිකරණය හමුවේ කියන්නේ. මේ නිලධාරියා සිද්ධිය වූ දිනයේ අනුරාධපුර ඉඳලා තියෙන්නේ. අනුරාධපුර නගරයේ දුරකථන කුලුනු වාර්තාවට අනුව ඝාතනයට විනාඩි හයකට පසුව පොලිස් පරීක්ෂකවරයාට දුරකථන ඇමතුමක් ලැබිලා තියෙනවා. එතකොට ඔහු අනුරාධපුරයේ. ස්වාමිනී සුපර් සොනික් කියලා කාටුන් එකක් තියෙනවා. අන්න ඒකෙ විදියට නම් සැකකරුට විනාඩි හයෙන් විදුලි වේගයෙන් සිද්ධිය වූ තැනට ගිහිල්ලා ආපහු අනුරාධපුරයට එන්න තිබ්බා.

විනිසුරුතුමනි, මේ ගරු අධිකරණයෙන් මිනීමැරීමේ චෝදනාවට ඇප ඉල්ලන්න බෑ. ඉල්ලන්න පුළුවන්නම් මම මුලින්ම මගේ සේවාදායකයා වෙනුවෙන් ඇප ඉල්ලනවා. නමුත් මම කියන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන පරීක්ෂණ හැකිතාක් කඩිනම් කරන ලෙස දන්වමින් නියෝග නිකුත් කරන්න කියලයි"

දෙපාර්ශ්වය අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශන කඩිනම් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ අතර අත්අඩංගුවට ගෙන තිබෙන ටී - 56 වර්ගයේ ගිනි අවි රස පරීක්ෂක වාර්තාව සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.

පසුගිය 2016 වසරේ අප්‍රේල් මස 30 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී තිරප්පනය පොලිස් වසමේ සෙලෙස්තිමඩුව ප්‍රදේශයේදී මෝටර් රථයකින් යමින් සිටි දරුණු අපරාධකරුවකු වූ එස්.එෆ්. බණ්ඩා නොහොත් සරත් බණ්ඩාර නමැත්තා හා ඔහුගේ ගෝලයන් පිරිසකට කිසියම් පිරිසක් සැඟවී සිට එල්ල කළ දරුණු වෙඩි ප්‍රහාරයෙන් ඔවුන් තිදෙනාම මෝටර් රථය තුළ බරපතළ තුවාල ලබා ජීවිතක්ෂයට පත්වී තිබිණි. ප්‍රහාරය එල්ල කළ පිරිස ඔවුන් ගමන් කළ රථයට ටී - 56 වර්ගයේ ගිනි අවිවලින් වෙඩි ප්‍රහාර 25කට වැඩි ප්‍රමාණයක් එල්ලකර තිබූ බව සිද්ධිය සම්බන්ධයෙන් තිරප්පනය පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබිණි.

ඝාතනයට ලක්වූ එෆ්.එස්. බණ්ඩාට එරෙහිව කොල්ලකෑම්, බිය ගැන්වීම්, කප්පම් ලබා ගැනීම් ඇතුළු නඩු 47කට අධික ප්‍රමාණයක් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon