තාජුඩීන් ඝාතනයට සම්බන්ධ ඩීවීඩී තැටි සීඅයිඩීයට හා උසාවියට දෙන්න - කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර

  👤  765 readers have read this article !
By mawbima 2018-07-19

කවින්ධ්‍යා පෙරේරා

ඝාතනයට ලක් වූ රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ වැඩිමහල් සොයුරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදී තිබූ මරණකරුගේ මෝටර් රථය තිබූ ස්ථානයේ අවට ඇති නිවාසවල සවිකර තිබූ සීසීටීවී දර්ශන සහිත ඩීවීඩී තැටි දෙකට අදාළ විශ්ලේෂණාත්මක වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත හා අධිකරණයට ලබා දෙන ලෙසට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතා ඊයේ (18දා) පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳයේ ප්‍රධාන විධායක නිලධාරී ලාල් ඩයස් මහතා වෙත නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෝසම් පත්‍රයක් ගොනු කරමින් අධිකරණ හමුවේ කරනු ලැබූ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කර සිටින්නේ මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ වැඩිමහල් සොයුරිය වන ෆාතිමා අයේෂා තාජුඩීන් විසින් 2012 මැයි මස 17 වැනිදා අලුයම මරණකරුගේ මෝටර් රථය තිබූ ස්ථානයේ අවට ඇති නිවාසවල සවි කර තිබූ සීසීටීවී දර්ශන සහිත ඩීවීඩී තැටි දෙකක් 2017 ජූලි 08 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දුන් බවයි.

එසේම එම දර්ශන සුරක්ෂිතව තබාගෙන අනන්‍යතාව තහවුරු කරගැනීමෙන් පසුව අධිකරණය වෙත ඉදිරිපත් කරන අතර බී.එම්.අයි.සී.එච්. හි පිහිටා ඇති පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන විධායක නිලධාරී ලාල් ඩයස් මහතා වෙත ඉදිරිපත් කර ඇති ප්‍රශ්නාවලියට අදාළව විශ්ලේෂණාත්මක වාර්තාවක් ලබා දෙන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
අදාළ ප්‍රශ්නාවලියේ එම වීඩියෝවල දර්ශනය වන පුද්ගලයා හැඳ සිටින
ටී ෂර්ට් එකේ පිටුපස ඇති අංක හා ඉංග්‍රීසි අකුරු හඳුනා ගත හැකිද? වාහනයේ අංක තහඩු හඳුනා ගත හැකිද? දර්ශනය වන පුද්ගලයාගේ සමීප ඡායාරූපයක් ලබාගත හැකිද? වීඩියෝ පට දෙකෙහි සිටින පුද්ගලයන් දෙදෙනාම එක් අයෙක්ද? දෙදෙනෙක්ද? ආදී ලෙස දක්වා ඇති ප්‍රශ්නාවලියට විශ්ලේෂණාත්මක පිළිතුරු සහිත වාර්තාවක් ලබන සැප්තැම්බර් 20 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් තවදුරටත් ඉල්ලා ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon