හමුදා කඳවුරු ගැන කතාබහෙන් මැතිසබය උණුසුම්

  👤  3053 readers have read this article !
By mawbima 2018-07-19

පාර්ලිමේන්තුව ඊයේ (18දා) දින කරු ජයසූරිය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමත් සමඟම වාගේ බොහෝ දෙනකුගේ අවධානයට ලක් වූ කාරණයක් වූයේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන ස්ථාවර නියෝග යටතේ මතු කරන ලද ප්‍රශ්නයක් දෙසටය.

මීට අදාළ ප්‍රශ්නය ආණ්ඩුව වෙත ඉදිරිපත් කරමින් දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ උතුරේ යුද හමුදා කඳවුරු කිහිපයක් ඉවත් කිරීමටත් යුද හමුදාවේ පිරිස් බලයෙන් 25%ක් අඩු කිරීමටත් තීරණය කර තිබෙන බවයි. ඊට අදාළ ලිපියක්ද දිනේෂ් ගුණවර්ධන විසින් හැන්සාඩ් ගත කරන ලදී.

මේ කාරණා ගැන ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර මහතා මතු කළාම යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. යුද හමුදාපති කියනවා, හමුදා කඳවුරු ඉවත් කරන්නේ නැහැ කියලා. නමුත් මේ දේ සිදුවෙමින් පවතිනවා. මේ ආණ්ඩුව සිදුකරන්නේ රණවිරුවන්ගෙන් පළිගැනීම. ජිනීවාවලට ලබාදුන් පොරොන්දුයි මේ අකුරටම ඉටුකරමින් සිටින්නේ. සිරිසේන - වික්‍රමසිංහ ආණ්ඩුව යුද හමුදාවෙන් පළිගනිමින් ඉන්නවා. ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවන පනත් එක් පැත්තකින් ඉදිරිපත් වෙනවා. මේ ආකාරයෙන් හමුදා කඳවුරු ඉවත් කිරීම හා හමුදාව අඩු කිරීම මේ රටේ ජාතික ආරක්ෂාවට ඉතා තර්ජනයක්' යනුවෙන්ද දිනේෂ් ගුණවර්ධන, මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.

මීට පිළිතුරු ලබාදීමට නැඟී සිටියේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධනයි. යුද හමුදා කඳවුරු ඉවත් කිරීමට හෝ හමුදාවේ සංඛ්‍යාව අඩු කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් යුද හමුදාවේ අවශ්‍යතාව මත යුද හමුදාව ප්‍රතිසංවිධාන කිරීම පමණක් සිදුවන බවත් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එම පිළිතුරෙන් සෑහීමකට පත්නොවූ දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේ ප්‍රතිසංවිධානය යටතේ හමුදා කඳවුරු ඉවත් කිරීම හා හමුදාවේ සාමාජිකයන් අඩුකිරීම සිදුකෙරෙන බවයි.
'ඒ කතාව වැරැදියි. කඳවුරු ඉවත් කරන්නේ නැහැ. එහෙමම තියෙනවා' රුවන් විජේවර්ධන ප්‍රතිචාර දැක්වීය.

ඊට යමක් දිනේෂ් ගුණවර්ධන පැවැසූ අතර ඊට ප්‍රතිචාර දැක්වීමට නැඟී සිටියේ පාර්ලිමේන්තුවේ සභානායක, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලය.

'දැන් මහලොකුවට රණවිරුවන්ගෙන් පළිගන්න යනවයි කියලා අපිට කියනවා. එදා යුද හමුදාපති සරත් ෆොන්සේකා ඇදගෙන ගිහිල්ලා සිරගත කරපු හැටි අමතකද? බිම දිගේ ඇදගෙන ගිහිල්ලා සරත් ෆොන්සේකා හිරේ දැම්මා. නැද්ද කියන්න. පුළුවන් නම් නැද්ද? කියන්න. යනුවෙන් ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කරන විට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඊට එරෙහිව කෑගැසීම නිසා මැතිසබය තුළ උණුසුම් සහ ඝෝෂාකාරී තත්ත්වයක් ඇති විය.

මේ සමඟම නැඟී සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශය.

'යුද හමුදාපතිතුමන් හිරවෙලා අසරණ වෙලා ඉන්නේ. උතුර, නැඟෙනහිර පළාත් ඇතුළු හමුදා කඳවුරු 100ක් ඉවත් කිරීමට නියමිතයි. 25%ක් හමුදාවේ ප්‍රමාණය අඩු වෙනවා. මේ කාරණය ගැන දේශපාලන කෝණයෙන් බලන්නේ නැතිව ස්වාධීනව සොයා බැලීමක් සිදුකරන්න. හමුදාව ඇතුළේ මේ වන විට බරපතළ ආතතියක් ඇති වී තිබෙනවා' යනුවෙන් විමල් වීරවංශ ප්‍රකාශ කළේය.

ඉන් පසුව නැඟී සිටියේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාය. මේ රටේ හමුදාව පාලනය කරන්නේ හමුදාපතිවරුන් එක්ක සාකච්ඡා කරලයි. තියෙන්න ඕන කඳවුරු ගණන කියන්න ඕන හමුදාවයි. බළඇණි ප්‍රතිසංවිධානය ඕනෑම හමුදාවක සිදුවෙනවා. යුද්දෙ ඉවරයි. දැන් අපේ හමුදාවට සාම කටයුතුවල යෙදෙන්න පුළුවන්. හටියිවලට ගියා. බාලිවලට එන්න කියලා තියෙනවා.' යනුවෙන් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

'දැන් හමුදාවට වෙන් කරන ප්‍රාග්ධන වියදමෙන් විශාල මුදලක් වැය කරන්න සිදුවෙලා තියෙන්නේ අලුතෙන් හදන යුද හමුදා මූලස්ථාන ගොඩනැඟිල්ලටයි. මේකට, කවුරුත් කැමැති නැහැ. හමුදාවේ අයත් බනිනවා. යනුවෙන් අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළේ ඒකාබද්ධ විපක්ෂයේ ඝෝෂා කිරීම් හමුවේය.

මේ අතර රීති ප්‍රශ්න මතුකිරීමට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු කිහිපදෙනෙක්ම නැඟී සිටියහ.ඔවුන් රීති ප්‍රශ්න මතු කිරීමට උත්සාහ ගන්නවාත් සමඟම මැතිසබය තුළ ඇති වූයේ ඝෝෂාකාරී තත්ත්වයකි.

16 කණ්ඩායම නියෝජනය කරමින් ඒකාබද්ධ විපක්ෂයට එක් වී සිටින ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි රීති ප්‍රශ්නයක් මතු කිරීමට සෑහෙන වේලාවක් තිස්සේ දැඩි උත්සාහයක නිරතව සිටියේය. මෙම උත්සාහය දැක ඊට යමක් ප්‍රකාශ කිරීමට නැඟී සිටියේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයාය.
'ඒකාබද්ධ විපක්ෂයේ ඉන්නවා කල්ලියක්. ඒ තමයි 16 දෙනාගේ ආවා කල්ලිය. අනේ ඒ කල්ලියටත් ඉඩක් ලබාදෙන්න' යනුවෙන් ගයන්ත කරුණාතිලක නැඟී සිටිමින් ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව මහත් ආයාසයෙන් අවස්ථාව ලබාගත් චන්දිම වීරක්කොඩි මන්ත්‍රිවරයා රීති ප්‍රශ්නයක් මතු කළේය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය පිළිබඳව චන්දිම වීරක්කොඩි මන්ත්‍රිවරයා යමක් ප්‍රකාශ කළ අතර එය රීති ප්‍රශ්නයක් නොවන බව ප්‍රකාශ කරමින් කථානායක ඊට ඉඩ ලබාදුන්නේ නැත.

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ 99 අවුරුද්දකට ඉන්දියාවට බදු දෙන බවත් ඒ අනුව 70%ක කොටසක් ඉන්දියාවට ලබාදීමට ආණ්ඩුවේ අවධානය යොමු වී තිබෙන බවත් ප්‍රකාශ වේ.

70%ක් ඉන්දියාවටත් 30%ක් ශ්‍රී ලංකාවටත් හිමිවන පරිදි රටවල් දෙකේ ඒකාබද්ධ හවුල් ව්‍යාපාරයක් ලෙස මෙම මත්තල ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීමට සැලසුම් කරන බව ආණ්ඩුව ප්‍රකාශ කරයි.

මීට ඒකාබද්ධ විපක්ෂය දැඩි ලෙස විරෝධය පළ කරන අතර ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පිරිසක් මත්තල ගුවන් තොටුපොළ නිරීක්ෂණය කිරීම සඳහා පසුගිය සඳුදා පිටත්ව ගියහ.

චමල් රාජපක්ෂ හිටපු කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් මුලින්ම සිදුකළේ මත්තල ගුවන් තොටුපොළෙහි වෘත්තීය සමිති ව්‍යාපාර සහ කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා කිරීමයි.

එම සාකච්ඡාවෙන් අනතුරුව ගුවන් තොටුපොළ නිරීක්ෂණය කිරීමේ කටයුතු ආරම්භ කෙරිණි.

ගුවන් මගී පර්යන්තය, භාණ්ඩ ගබඩා කිරීමේ ප්‍රධාන ගබඩාව, තෙල් ටැංකි සංකීර්ණය, ගිනි නිවන අංශය, ගුවන් ගමන් ප්‍රධාන මෙහෙයුම් මැදිරිය ඇතුළු අංශ ගණනාවක්ම මෙහිදී නිරීක්ෂණයට ලක්විය.

මත්තල ගබඩාව වඩා ප්‍රසිද්ධියට පත්වූයේ පසුගිය කාලය තුළ වී ගබඩා කිරීම නිසාය.
'අද නම් මේ වී ගබඩාව කොහොම හරි බලන්න ඕන' ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු කිහිපදෙනෙක්ම ප්‍රකාශ කළහ.

'ගබඩාව වහල තියෙන්නේ. දැන් වී නැහැ. ඒ වුණාට වහලා තියෙන්නේ. අපිට ඒක අරින්න අවසර නැහැ.' එක් සේකයකු ප්‍රකාශ කළේය.

මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොළ කිසිදු ආකාරයකින් ඉන්දියාවට ලබාදීමට ඉඩ ලබානොදෙන බවත් ඒ වෙනුවෙන් සිදුකළ හැකි සෑම දෙයක්ම ක්‍රියාවට නංවන බවටත් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු මත්තල ගුවන් තොටුපොළෙහි සේවකයන්ට හා වෘත්තීය සමිතිවලට සහතික වූහ.

මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොළ ඉන්දියාවට ලබානොදෙන ලෙසට ඉල්ලීමක් කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ඊයේ (18දා) දින ප්‍රවාහන ආමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා හමුවීමට ප්‍රවාහන අමාත්‍යාංශයට ගියහ.

තර්ක විතර්ක රැසක් මධ්‍යයේ සාකච්ඡාව සිදු වුවද අවසානයේදී නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා ප්‍රකාශ කළේ සිවිල් ගුවන් සේවා පනත සංශෝධනය කරමින් හෝ මත්තල ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාවට ලබාදීමට සිදුවන බවයි.

"අපි ආවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරයෙක් හමුවෙන්න. අපි දැන් යන්නෙ යූ.ඇන්.පී. ඇමැතිවරයකු හමුවෙලා සාකච්ඡා කළා වගේ" යනුවෙන් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේ නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයාට සමුදෙමිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon