කොමිෂන් නවයේ සභාපතිවරුන්ගේ දීමනා වැඩි වේ

  👤  3130 readers have read this article !
By mawbima 2018-07-19

දයා පෙරේරා, ජේ.ටී. ද සිල්වා

ස්වාධීන කොමිෂන් සභා නවයෙහි සභාපතිවරුන්ට හා සාමාජිකයන්ට දැනට ගෙවනු ලබන මාසික දීමනා වැඩි කිරීම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.
අගමැති හා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු ඇමැතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඉදිරිපත් කර ඇති යෝජනාව පාර්ලිමේන්තු න්‍යායපත්‍රයට ඇතුළත් කර තිබේ.

නිල බලයෙන් පත්වන සභාපතිවරුන් හැර අනෙකුත් සභාපතින් සඳහා දැනට ගෙවන රුපියල් 1,00,000ක මාසික දීමනාව රුපියල් 1,35,000 දක්වා වැඩි කිරීමට හා ඊට අමතරව දැනට ගෙවන අනෙක් දීමනා ඒ අයුරින්ම ගෙවීමට යෝජනා කර ඇත.

නිල බලයෙන් පත්වන ස්වාධීන කොමිෂන් සභා සභාපතිවරයන් සඳහා තම නිත්‍ය තනතුරේ වැටුප් දීමනාවලට අතිරේකව ස්වාධීන කොමිෂන් සභා සභාපතිවරයකුගේ මාසික දීමනාවෙන් 50%ක මාසික දීමනාවක් ගෙවීමටද යෝජිතය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ හැර අනෙක් ස්වාධීන කොමිෂන් සභාවල නිල බලයෙන් පත් නොවන සාමාජිකයන්ට දැනට ගෙවන රුපියල් 75,000ක දීමනාව රුපියල් 90,000ක් දක්වා වැඩි කිරීමටද ඊට අමතරව දැනට ගෙවනු ලබන අනෙක් දීමනා එසේම ගෙවීමටද යෝජනාවේ සඳහන්ය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ සභාපතිට සමානව සාමාජිකයන්ටද වගකීම් පවරා ඇති නිසා ඔවුන්ට දැනට ගෙවන මාසික දීමනාව රුපියල් 95,000 සිට රුපියල් 1,35,000 දක්වා වැඩිකර දැනට ගෙවන සෙසු දීමනා ඒ අයුරින්ම ගෙවීමටද යෝජනා කර ඇත.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට හා සාමාජිකයන්ට, මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ දින සිට ප්‍රතිඵල නිකුත් කරන දින දක්වා කාලසීමාව සඳහා ඔවුන්ගේ මාසික දීමනාවෙන් 3/4ක විශේෂ දීමනාවක් ගෙවීමටද යෝජනා කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon