දරුවාට බියර් පෙවූ පියා ඇතුළු 4ක් රිමාන්ඩ්

  👤  3064 readers have read this article !
By mawbima 2018-07-19

ගල්ගමුව - අරෝෂණ මාන්නප්පෙරුම, මහගල්කඩවල - එච්.එම්.සී. ඉලංගකෝන්

සිඟිත්තකුට බියර් පෙවීමේ සිද්ධියක් මුල් කර ගනිමින් අත්අඩංගුවට ගත් එම දරුවාගේ පියා ඇතුළු සැකකරුවන් සිවුදෙනා ලබන මස 01 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස ගල්ගමුව මහෙස්ත්‍රාත් ප්‍රභාත් ජයසූරිය මහතා නියෝග කළේය.

ඊයේ (18දා) පළමු වරට සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය ලබා දුන්නේය.

සිද්ධියට මුහුණ දුන් දරුවා ලක්ෂයක බැඳුම්කරයක් මත පරිවාස නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මවට භාර දීමට නියෝග කෙරිණි.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත වූයේ දරුවාගේ පියා වන රෝහණ සරත්චන්ද්‍ර හෙවත් ගාමිණී (40), මොහොමඩ් සකීර් මොහොමඩ් සියාම් (38), සුමේධ ප්‍රියරත්න හෙවත් ධනුෂ්ක (23) සහ මොරගහමුල ගෙදර චන්ද්‍රසිරි හෙවත් බණ්ඩයියා (50) යන සැකකරුවන් සිවු දෙනාය.

අදාළ සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් තිදෙනකු පෙනී සිටි අතර, අධිකරණයට කරුණු දක්වමින් ඔවුන් කියා සිටියේ එම සිද්ධිය පිළිගන්නා බවත් නොදැනුවත්කම නිසා එවැනි දෙයක් සිදුවූ බවත්ය.

මෙහිදී පැමිණිල්ල ඉදිරිපත් කරමින් පොලිස් නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ දරුවාගේ පරීක්ෂණ වාර්තා තවම ලැබී නොමැති බවයි.

අන්තර්ජාලය පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ අදාළ වීඩියෝව පිළිබඳ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ අවධානය යොමුවීමත් සමඟ එකී පරීක්ෂණ කටයුතු ආරම්භ වූ අතර සැකකරුවන් මීගලෑව පොලිස් වසමේ 313, ගනන්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට මීගලෑව පොලිසිය කරුණු අනාවරණය කර ගත්තේය.

පසුව දරුවා අනුරාධපුර අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබිණි.

මෙම සිදුවීම ඡායාරූප ගතකොට මුහුණුපොතට මුදාහැර ඇත්තේ මීගලෑව, ගනන්ගමුව තරුණියක සමඟ විවාහ වී සිටින මුස්ලිම් ජාතික මොහොමඩ් සකීර් මොහොමඩ් සියාම් යන සැකකරු විසිනි.

මීගලෑව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්.පී.බී. විජේසූරිය මහතාගේ උපදෙස් පරිදි උ.පො.ප. විජේරත්න පො.සැ. (කාන්තා) කාන්ති (1704) හා කොස්තාපල්වරුන් වන සමන් (35393), වික්‍රමසිංහ (55058), සහ ප්‍රියදර්ශන (75164) යන නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර පො.සැ. ඒකනායක (33557) මහතා අධිකරණ පැමිණිල්ල මෙහෙයවනු ලබයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon