ගාල්ලේ ක්‍රීඩාංගණය ඉවත් කිරීමක් ගැන අපි කතා කළේ නැහැ

  👤  3419 readers have read this article !
By mawbima 2018-07-19

විචිත්‍ර වීරසිංහ

සීගිරිය, දඹුල්ල, සිංහරාජය හා ගාලු කොටු පවුර යන ශ්‍රී ලංකාව සතු ලෝක උරුමයන් 4 අතුරින් එකක් ලෙස සැලකෙන ගාලු කොටු පවුර ආකර්ෂණයට බාධා පමුණුවන අයුරින් ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණ පරිශ්‍රය තුළ අනවසර ඉදිකිරීම් සිදුකර ඇතැයි යන කරුණ මත එම ඉදිකිරීම් ඉවත් කිරීම කෙරෙහි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ බලධාරීන්ගේ අවධානය යොමු වී තිබීම හේතුවෙන් ඉදිරියේදී එම ක්‍රීඩාංගණයේ තරග පැවැත්වීම අවදානම් සහගත තත්ත්වයට පත්ව ඇතැයි වාර්තා වේ.

මේ පිළිබඳ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ගාලු උරුමය, යුනෙස්කෝ සංවිධානය, සංස්කෘතික අමාත්‍යාංශය යන ආයතනවල නිලධාරීන් හා ශ්‍රී ලංකා ක්‍රිකට් නිසි බලධාරි ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කමල් පත්මසිරි මහතා අතර පෙරේදා (17දා) පැවැති තීරණාත්මක සාකච්ඡාවකදී මීට අදාළව වැදගත් තීරණයන් රැසක් ගෙන ඇතත් එම සාකච්ඡාවට සහභාගි වූ සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා ඊයේ (18දා) "මව්බිම"ට කියා සිටියේ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා නොවූ බවය.

තවද අප කළ සාකච්ඡාවේදී ගාලු කොටු පවුර උරුමයට හානි වන පරිදි කර ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සම්බන්ධව මාතෘකාව මූලික වූ බවද පැවැසූ රත්නසිරි මහතා "ගාල්ල ක්‍රීඩාංගණය කඩා ඉවත් කරනවා කියලා වැරැදි ප්‍රවෘත්තියක් නිර්මාණය වෙලා තියෙනවා. ඒත් ක්‍රීඩාංගණයක් ඉවත් කිරීමක් ගැන අපි සාකච්ඡා කළේ නැහැ. යුනෙස්කෝ සංවිධානය යටතේ පවතින ගාලු කොටුව ආරක්‍ෂා කර ගැනීම පමණයි අපි සාකච්ඡා කළේ" යැයි පැවැසූ රත්නසිරි මහතා වසර 5කට පෙරත් මෙම ක්‍රීඩාංගණයේ ක්‍රිකට් තරග පැවැති බවත්, ක්‍රිකට් ආයතනය කළ අනවසර ගොඩනැඟිලි ඉවත් කිරීමෙන් අනතුරුව වුවද එහි ක්‍රිකට් තරග පැවැත්වීමට කිසිදු බාධාවක් නොමැති බවත් කිය සිටියේය.

1998 වසරේ සිට මේ දක්වා මෙම ක්‍රීඩාංගණයේදී ටෙස්ට් තරග 31ක් පවත්වා ඇති අතර, එහිදී ශ්‍රී ලංකාව අවස්ථා 18කදී ජයගෙන අවස්ථා 7කදී පරාජය වී තරග 6ක් ජය පැරදුමෙන් තොරව අවසන් කරගෙන ඇත. ක්‍රීඩා පිටිය කඩා ඉවත් කිරීම පිළිබඳව මේ වනවිට පවතින අර්බුදකාරී වාතාවරණය සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයේ නිසි බලධරයා ලෙස කටයුතු කරන කමල් පත්මසිරි මහතාගෙන් "මව්බිම" කළ විමසීමකදී ඔහු පැවැසුවේ මෙවැන්නකි.

"මෙය කඩා ඉවත් කරන්න තීන්දු කරනවානම් ඒ සඳහා ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්න ඕන. ඒ ප්‍රතිපත්තිමය තීරණය ගත යුත්තේ අගමැතිවරයා, ජනාධිපතිවරයා ඉන්න කැබිනට් මණ්ඩලයෙනුයි. කොහොම වුණත් මම අදාළ අයගෙන් ඇහුවා මේක කඩා ඉවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ කවදද කියලා. ඒ සඳහා රජයේ කැමැත්ත දෙන්න ඕන 2019 දෙසැම්බර් මාසයේදීලු. ඒ නිසා අපට මේ සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් ගන්න ඕන තරම් කල් තියෙනවා. කෙසේ වුවත් මේ සඳහා රජයේ කැමැත්ත අනිවාර්යයෙන්ම ලැබිය යුතු බවද පත්මසිරි මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon