බලාගාර සමාගමට මුදල් ගෙවූ පසු දකුණට යළි විදුලිය ලැබෙයි

  👤  3151 readers have read this article !
By mawbima 2018-07-19

හර්ෂනී අර්සකුලරත්න

ඇඹිලිපිටිය ඒස් පවර් බලාගාරයෙන් අප්‍රේල් සහ මැයි මාස සඳහා මිලට ගත් විදුලිය වෙනුවෙන් අය විය යුතු රුපියල් මිලියන 746ක මුදල එම බලාගාරය අයත් සමාගමට නොගෙවීම හේතුවෙන් දින දෙකක් පුරා ලං.වි.ම. දකුණු පළාතට විදුලිය දීම අත්හිටුවා තිබූ බවත් ඊයේ (18දා) එම මුදල ගෙවීමෙන් පසු යළි විදුලිය දීම එම බලාගාරය ආරම්භ කළ බවත් ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වසර තුනක් සඳහා ඇඹිලිපිටිය ඒස් පවර් බලාගාරයෙන් ලබාගත් විදුලිය වෙනුවෙන් ගෙවීම ප්‍රමාදයට හේතුව වූයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (බලශක්ති මිලදී ගැනීම්) සුජීව අබේවික්‍රම එම මුදල් ලබාදීමට අදාළ චෙක්පත සඳහා අනුමැතිය ලබාදීම ප්‍රතික්ෂේප කිරීමය.

එසේ චෙක්පත සඳහා අනුමැතිය ලබාදීම ඔහු ප්‍රතික්ෂේප කෙළේ මේ බලාගාරය විදුලිබල පනත උල්ලංඝනය කරමින්, මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය රහිතව මිලට ගත් බලාගාරයක් වීම නිසා බව අබේවික්‍රම මහතා පැවැසීය.

ඉන් පසුව ඔහු වැඩ තහනමකට ලක්වූ අතර එම තනතුර සඳහා පත්වූ ඩී.එම්.යූ.එස්. බණ්ඩා මහතා ඊයේ (18දා) මේ චෙක්පත සඳහා අනුමැතිය දීමත් සමඟ චෙක්පතට අදාළ ගෙවීම් එම බලාගාරය අයත් එයිට්කන් ස්පෙන්ස් සමාගම වෙත මුදාහැරීමට හැකිවී තිබේ. ඉන් අනතුරුව ඊයේ (18දා) යළි ලං.වි.ම.ට මුදලට විදුලිය දීම එම බලාගාරය අරඹා ඇත.

එම බලාගාරය මෙසේ ලං.වි.ම.ට විදුලිය සැපයීම අත්හිටුවීමෙන් පසු විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් බී.එම්.එස්. බටගොඩ පසුගියදා (17දා) ලං.වි.ම. වෙත ලිපියක් යොමු කරමින් එම මුදල් ගෙවීමට ඇත්නම් ගෙවීමට කටයුතු සම්පාදනය කරන ලෙස දන්වා යවා තිබේ. සමනලවැව බලාගාරය හැරුණු විට දකුණු පළාත කේන්ද්‍ර කරගත් එකම බලාගාරය මෙය පමණක් වීම ඊට හේතුව විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon