කාර්යාල සහායකට ගහපු අක්මීමණ උප සභාපතිට ඇප

  👤  3109 readers have read this article !
By mawbima 2018-07-19

අහංගම - එන්.ජී. ලියනගේ

අක්මීමණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මයික්‍රෆෝනය දීමට ප්‍රමාදවීම නිසා එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්යාල කාර්ය සහායකවරයාට පහරදුන් බව කියන අක්මීමණ ප්‍රාදේශීය සභාවේ උප සභාපති ආඬවත්ත කංකානම්ගේ සුගත් මහතා රුපියල් පනස් දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ සියය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් ඒ. නිශාන්ත පීරිස් මහතා ඊයේ (18දා) නියෝග කළේය.

සැකකරුට දැඩි ලෙස අවවාද කොට සෑම ඉරු දිනකම අක්මීමණ පොලිස් ස්ථානයට වාර්තා කරන ලෙසටද නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා ඇප කොන්දේසි උල්ලංඝනය කළොත් ඇප අවලංගු කරන බවද ශරීර ඇපකරුවන්ට එය මුදලින් ගෙවීමට වත්කම් තිබෙන බවට ආදායම් වාර්තා ඉදිරිපත් කළ යුතු බවටද නියෝග කළේය.

පසුගිය 9 වැනි දින ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් අක්මීමණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම පැවැත්වෙමින් තිබියදී සැකකරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්යාල කාර්ය සහායක හප්පාවන විතානගේ සමරරත්න නමැති අයගෙන් මයික්‍රෆෝනය ඉල්ලා තිබේ.

එම අවස්ථාවේ ඔහුට එය දීමට ප්‍රමාදවීම නිසා සැකකාර උප සභාපති කාර්යාල කාර්ය සහායකට පහරදී තිබේ. පසුව පහරකෑමට ලක්වූ කාර්යාල කාර්ය සහායකවරයා එම සිද්ධිය ගැන පොලිසියට පැමිණිලි කර ඇත.

මෙහිදී සැකකරුගේ නීතිඥවරුන් කියා සිටියේ සමථයකට පත්වීමට කැමැති බවයි. එහිදී මහෙස්ත්‍රාත්වරයා කියා සිටියේ සමථවන්නේ නම් ඊළඟ නඩු දිනයේ අධිකරණයට වාර්තා කරන ලෙසය. වැඩිදුර විභාගය අගෝස්තු 8 වැනි දිනට කල් තබන ලදී.

අක්මීමණ පොලිසියේ පොලිස් පරීක්ෂක ඒ. රණවීර හා සැරයන් සරත්චන්ද්‍ර (57111) මහතා පැමිණිල්ල මෙහෙයවන ලදී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon