ජනතාවට තියෙන ප්‍රශ්න එකක්වත් පාලකයන්ට නෑ

  👤  3202 readers have read this article !
By mawbima 2018-07-19

අවුරුදු 70ක් මොකක්ද මේ පාලකයෝ කරලා තියෙන්නේ. තමන් හැදිලා තියෙන එක.

ඔවුන්ගේ ප්‍රශ්න විසඳගෙන තියෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවක් හදන්න ඕන. පාලකයන්ගේ ප්‍රශ්න වෙනුවට ජනතාවගේ ප්‍රශ්න විසඳන ආණ්ඩුවක් හදන්න ඕනෑ. දැන් රවි, රනිල්, කිරිඇල්ල, බැසිල්, ගෝඨාභය, මහින්ද, නාමල් කොලුවා ගැන කතා කරලා ඇති වෙලයි තියෙන්නේ. ඒ නිසා තවදුරටත් ඒවා කතා කරලා වැඩක් නෑ. දැන් හැම දෙනාටම අත්දැකීමෙන් ඔප්පු කරලා තියෙනවා මේ පාලනයට හා මේ පාලකයන්ට මේ ප්‍රශ්න විසඳන්න බැරි බව යැයි, ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ රට රකින රට හදන වැඩසටහන වෙනුවෙන් පන්නල - මුම්මාන ප්‍රදේශයේදී පසුගිය (16දා) රාත්‍රි ජන හමුවකට එක්වෙමිනි.

එහිදී අනුර කුමාර මහතා මෙසේද කියා සිටියේය.

දැන් අපි සෑම ගමකටම ගියාම ජනතාවගෙන් එන මැසිවිල්ල මොකක්ද. ගමේ ඉගෙන ගත්ත දරුවෝ ඉන්නවා අනේ සහෝදරයා රස්සාවක් නෑ. අපේ ගමේ පාර කැඩිලා තියෙනවා. ඒක තවම හදලා නෑ. අපේ ගමේ පිට්ටනිය තියෙනවා. ඒකේ ළමයින්ට සෙල්ලම් කරන්න විදියක් නෑ. ගොවිතැන් කරලා අස්වැන්න ගන්නවා. ඒක විකුණගන්න විදියක් නෑ. මේ හැමදෙනාගේම තියෙන්නේ දුක්ගැනවිල්ලක්.

අවුරුදු 70ක් මේ පාලකයෝ අසමත් වෙලා තියෙනවා. මේ රට හදන්න. රට හදන්න අසමත් වුණාට පාලකයෝ නම් ඇති පදමට හැදිලා තියෙනවා. අපි දකුණු පළාතේ මුහුදු වෙරළට ගියොත් සහෝදරයා අර පේන හෝටලයත් නාමල්ගේ. ඇයි එහෙම කියන්නේ නැද්ද. අපි කොළඹ පැත්තට ගියොත් රවි කරුණානායක අර තට්ටු නිවාසයෙන් ගෙයක් ගත්තා. මේ තට්ටු නිවාසයෙන් ගෙයක් ගත්තා. රවි කරුණානායකගේ තමයි කන්ටේනර් යාඩ් එක. රජමල්වත්තේ ගේ ලොකු කරලා හැදුවා. ඒ අය ගැන කියන්නේ එහෙම තමයි. අපි පොළොන්නරුවට ගියොත් මෛත්‍රිපාල මහත්තයාගේ මල්ලිගේ මේ ගල්මෝල, පරාක්‍රම සමුද්‍රය ඉදිරිපිට තියෙන හෝටලයත් එයාගේ. ඉතිං ඒගොල්ලන්ට කියන්න කතාවක් තියෙනවා. අපිට කියන්න තියෙන්නේ වෙන කතාවක්. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ මේගොල්ලෝ රට හදනවා වෙනුවට ජනතාවගේ ප්‍රශ්න විසඳනවා වෙනුවට ඒගොල්ලෝ හැදිලා තියෙනවා. ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳගෙන තියෙනවා කියන එකයි.

තමුන්නාන්සේලාට තියෙන ප්‍රශ්නවලින් එක ප්‍රශ්නයක්වත් ඒගොල්ලන්ට නෑ. ඒ අයට හුළං වදින්න වැල්ලේ ගෙවල් තියෙනවා. රාජකාරි කරන්න. මැතිවරණ කරන්න කොළඹ, ගමේ ගෙවල් තියෙනවා. සීතලට ඉන්න නුවරඑළියේ ගෙවල් තියෙනවා. දරුවන්ට ඉගෙන ගන්න එංගලන්තයේ ගෙවල් තියෙනවා. ඒකයි ඇත්ත කතාව.

එතකොට සමහරු කියනවා මහින්ද මහත්තයට වඩා ගෝඨාභය ආව නම් හරියයි කියලා. ඕනෑ නම් ගෙනත් බලන්න. රනිල් මහත්තයට වඩා සජිත් මහත්තයා ආවොත් හොඳයි තවත් අය ඔහොම කියනවා. බණ්ඩාරනායක මහත්තයා රට පාලනය කළානේ. එතුමාගෙන් පස්සේ එතුමාගේ නෝනා ආවා. එයා හොඳ නෑ කියලා දුවත් ගෙනාවා. හරි ගියාද. තාත්තලා, අම්මලා, දුවලා ඔය ඔක්කොම ගෙනත් තියෙනවා. ඩී.එස්. සේනානායක මහත්තයා එයාගේ පුතා ගෙනාවා. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා එයාගේ බෑනා රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෙනාවා. මහින්ද මහත්තයා වෙනුවට එයාගේ මලයා ගෝඨාභය ගෙනාවත් එහෙම නැතිව රනිල් වෙනුවට සජිත් ප්‍රේමදාස ගෙනාවත් මේ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ නෑ.

ඒ ගොල්ලෝ මොකක්ද මේ කරන්නේ. ඒ ගොල්ලන්ගේ මේ පරණ චැසි ඒකට අලුත් බොඩි එකක් ගහනවා. අපි කියන්නේ මේ පරණ චැසිවලට අලුත් බොඩි ගහලා හරියන්නේ නෑ කියලයි. මේ රට හදන්න අවුරුදු 70ක් ගිහිල්ලත් මේ පාලකයන්ට බැරි වුණා නම් මේ පාලකයන්ට මේ රට හදන්න බෑ.

වඩුමුන්නේගෙදර - තිළිණි පවිත්‍රා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon