බලය හා දූෂණය අතර ඇති බැම්ම ලිහන්න පසුගිය වසර තුනේ බොහෝ දේ කළා

  👤  3081 readers have read this article !
By mawbima 2018-07-19

බලය සහ දූෂණය අතර සබැඳියාව බිඳ හෙළීමට ඉකුත් වසර 3 තුළ ශ්‍රී ලංකාව වැදගත් පියවර රැසක් තැබූ බව ජනපති පවසයි.

අසීමිත බලය, දූෂණය නිර්මාණය කරන අතර බලය සහ දූෂණය අතර සබැඳියාව බිඳ හෙළීමට ඉකුත් වසර 3 තුළ ශ්‍රී ලංකාව වැදගත් පියවර රැසක් තැබූ බව ජනාධිපතිවරයා පවසයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මේ බව ප්‍රකාශ කෙළේ 18 වැනි දින පෙරවරුවේ ජෝර්ජියාවේ ටිබිලිසි සම්මන්ත්‍රණ සහ සමුළු ශාලාවේදී ආරම්භ කෙරුණු විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ නායක හමුවට එක්වෙමිනි. විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (ර්ණීට්ර්ථී) පුරවැසියන් කෙරෙහි රජය දක්වන විනිවිද භාවය, වගවීම, මහජන සහභාගිත්වය වැඩිදියුණු කිරීම උදෙසා සැකසුණු යාන්ත්‍රණයකි. ජෝර්ජියානු අග්‍රාමාත්‍ය ර්චථභඬච ඕචඬඩබචඤලඥ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සමුළුව ආරම්භ කෙරුණු අතර සාමාජික රටවල් 75ක ජනාධිපතිවරු, අගමැතිවරු, කථානායකවරු, අමාත්‍යවරු ඇතුළු නියෝජිතයෝ ඊට එක්ව සිටියහ.

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ එකඟතා එහි සාමාජික රටවල සුබසාධනය සහ යහපත උදෙසා යොදා ගන්නේ කෙසේද යන තේමාව යටතේ එහි සමාරම්භක සැසිය ආරම්භ කෙරුණු අතර එම සමාරම්භක අවස්ථාවේ මූලික අදහස් දැක්වීමට එක්වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිය අදහස් පළ කරනු ලැබීය.

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයට අදාළ මූලධර්ම ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව ගත් පියවර පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කෙළේ තමන් ජනාධිපති ධුරයට පත්වන විට ලෝකයේ කිසිම රටක නොමැති අයුරින් අසීමිත බලයක් ශ්‍රී ලංකා විධායක ජනාධිපති ධුරය සතුව තිබූ බවයි. තමන් ජනාධිපති ධුරයට පත්ව මාස 6ක් ඉක්ම යෑමට පෙර එම අධික බලය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා පාර්ලිමේන්තුවට පවරා දී පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමට පියවර ගත් බව ජනාධිපතිවරයා එහිදී පැහැදිලි කළේය.
එසේම එදා අගවිනිසුරු, ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, පොලිස්පති, නීතිපති සහ කොමිෂන් සභා නිලධාරීන්ද පත් කෙරුණේ ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි වන අතර අද එම සියලු කටයුතු සිදුවන්නේ පාර්ලිමේන්තුවෙන් පත් කරන ලද ව්‍යවස්ථාපිත සභාවක් මඟින් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

තමන් රට භාර ගන්නා විට දේශපාලන බලය හේතුවෙන් අධිකරණයද දැඩි දූෂණයට ලක්ව තිබූ බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමටද වත්මන් ආණ්ඩුව පියවර ගත් බව සඳහන් කළේය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඇතුළු සියලු කොමිෂන් සභා අද ශක්තිමත් වී තිබෙන අතර කිසිවකුගේ ඇඟිලි ගැසීමකින් තොරව ස්වාධීන සහ අපක්ෂපාතී ආයතන ලෙස ඒවා ක්‍රියාත්මක වන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කෙළේය.

දේශපාලනඥයා වේවා රාජ්‍ය නිලධාරියා වේවා තමා සතු පෞද්ගලික බලය හැකි තරම් අවම කරමින් බලය ව්‍යවස්ථාපිත ලෙස සාමූහිකත්වයට භාර කළයුතු අතර වැඩමුළු හා සම්මන්ත්‍රණ හරහා ඒ පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමට මෙන්ම, දූෂණය හා වංචාව පිටුදැකීම පිළිබඳ සිවිල් සමාජය සතු බලතල භාවිත කරන්නේ කෙසේද යන්න පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට ද ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ජනාධිපතිතුමා කියා සිටියේය.

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය 2011 වර්ෂයේදී ජාත්‍යන්තර මට්ටමින් විධිමත්ව ස්ථාපිත කෙරුණු අතර වර්තමාන ආණ්ඩුව ගෙනයනු ලබන යහපාලන වැඩපිළිවෙළ අගයමින් එම හවුල්කාරිත්වය සමඟ එක්වන ලෙස ලැබුණු ආරාධනාව අනුව 2015 වසරේදී ශ්‍රී ලංකාව ඒ හා එක් විය. ඒ අනුව ශ්‍රී ලංකාව එහි සාමාජිකත්වය ලබාගත් ප්‍රථම දකුණු ආසියාතික රටද වෙයි. මේ වන විට ලෝකයේ රාජ්‍යයන් 75ක් විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ සාමාජිකත්වය දරයි.

දූෂණ විරෝධය, සිවිල් අවකාශය සහ රාජ්‍ය සේවාව ශක්තිමත් කිරීම යන අරමුණු ඉටු කර ගැනීමේදී පවතින අභියෝග සහ එම අභියෝග ජය ගැනීම සඳහා ගෝලීය වශයෙන් සාමූහිකව ගතයුතු ප්‍රයත්නයන් පිළිබඳ මෙවර රාජ්‍ය නායක හමුවේදී පුළුල් අවධානයක් යොමු කෙරේ. සමුළුව හෙටින් අවසන් වෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon